අසේල කුරුළුවංශ
එදා තමන් දේශපාලනයට එනවිට ආණ්ඩු කළ පිරිස අද විපක්ෂයට ගොස් සිිටන බවත් ආණ්ඩුවට නොව ඔවුන්ට එරෙහිව නව සන්ධානයක් ගොඩනගන බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ හමුවේ පැවසුවේය.
වත්මන් ආණ්ඩුව වංචාවෙන් හා දුෂණයෙන් තොරව හොඳ ගමනක් යමින් සිටින නිසා තමන්ගේ සහය ආණ්ඩුවට නිරතුරුව ලබාදෙන බවද ඔහු පැවසුවේය.
ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව පෙරේදා (01) මල්වතු මහා විහාරයට ගිය සරත් ෆොන්සේකා උන්වහන්සේ සමඟ සුහඳ පිළිසඳරක යෙදෙමින් ප්‍රකාශ කළේ විපක්ෂයේ කණ්ඩායම එකතු වී සිටින්නේ ඔවුන්ගේ වාසියට මිස ජනතාවට යහපතක් කරන්නට නොවන බවයි.
මහනාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ෆීල්ඩ් මාර්ෂල්වරයා මෙසේද පැවසුවේය.
“එදා ආණ්ඩුවේ සිටියදී මගේ විවේචනයට භාජනය වුණු අය තමයි වර්තමානයේ විපක්ෂය නියෝජනය කරන්නේ. ඒ ගොල්ලන්ගේ වැරදි ගොඩක් තිබුණා. ගෝඨාභය හා මහින්ද එදා මම කළ මෙහෙයුම් වලටත් බාධා කරන්න උත්සහා කළා.”
“සටන ඉදිරියට ගෙනයන්න ඕන වෙලාවල්වල සටන් විරාම තියන්න මේ අය නියෝග කළ හැටි මම විස්තාරාත්මකව කියලා තියනවා. මේ අයගේ දුෂිත ගනුදෙනු මම අනාවරණය කළා. ඩොලර් 250 ට ගත්ත බෝම්මබයට මේ අය බලයට ඇවිල්ලා ඩොලර් 650 ගානේ ගෙවන්න පටන් ගත්තා. අවුරුදු 15 ක් ඇතුළත ඒ බෝම්බය වැඩි වෙලා තිබුණේ ඩොලර් 50 කින්. මේ ගොල්ලෝ බලය අරගෙන අවුරුද්දක් ඇතුළත ඩොලර් 400 කින් ඒකේ මිල වැඩි වුණා. ගෝඨාභයලා, මහින්දලා ඒ වගේ විශාල දූෂිත ගනුදෙනු කළා.”
“ඒවා හන්දා තමයි මම මේ වගේ මිනිස්සු එක්ක වැඩ කරන්න බැහැ කියලා හෘද සාක්ෂියට එකඟව තීරණයක් අරන් එළියට බැස්සේ. ඒත් මේ අය හැදුනේ නැහැ. ඒ විදිහටම තමයි තාමත් වැඩ කරගෙන යන්නේ. දැහැමි, ධර්මිෂ්ඨ සත්ගුණවත් මිනිස්සු විදිහට තමයි පෙනී ඉන්නේ. ඒ වුණාට කරන තරමක් කරන්නේ රටට සහ ජනතාවට අගතියක් වන දරුණු අපරාධ හා වංචනික වැඩයි. ඒ නිසා මම මේ අය දේශපාලනයෙන් තුරන් විය යුතුයි කියන මතයේ තදින්ම ඉන්නවා. ඒ වෙනුවෙන් කැපවී වැඩ කරනවා.”
“වත්මන් රජයේ වංචා දූෂණ නැහැ. ඒ නිසා මගේ සහය ඔවුන්ට දෙනවා. යම් යම් වැරදි අඩුපාඩු වෙලා තියෙන්න පුළුවන්. වැරදි වෙලා තියෙනවා නම් ඒවා ගැන පරීක්ෂණ සිදුවිය යුතුයි. මේවා හරහා ජනාධිපතිවරයා, මැතිඇමැතිවරු හෝ ඔවුන්ගේ පවුල්වල උදවිය කෝටිපතියෝ වෙලා නැහැ. පසුගිය කාලයෙ වුණා වගේ රටේ තිබෙන සියලුම දේපොළ අවභාවිත කරලා මොවුන් යහමින් වැජබෙන තත්ත්වයක් දකින්න නොමැති බව කාටත් පේනවා.”
“ජනාධිපතිවරයා වගේම මැති ඇමැතිවරුත් කැප කිරීම් කරනවා. ඒ නිසා රටේ විශාල වෙනසක් පෙනෙන්න තියෙනවා.”
“තිබුණ ක්‍රමයට රට යනවට කවුරුත් කැමැති නැහැ. ඒ ගොල්ලෝ කළේ කෝටිපතියෝ වෙලා යහමින් වැජබෙන එකයි. මේ යන ක්‍රමය අනුව ගියොත් සොරකම්, වංචා,දුෂණ වගේ දේවල් අඩුවෙලා ඒවාහි ප්‍රතිලාභ ජනතාවට ලැබෙයි. මේ ක්‍රමය ඉදිරියට ගෙනියන්න ඕන. ඒක ජනතාව තේරුම් ගන්න ඕන. යම්කිසි ඇමැති කෙනක් වරදක් කරලා තියෙනවා දඩුවම් කළ යුතුයි. අධ්‍යාපන සහතික සම්බන්ධ ප්‍රශ්නය ආවම කතානායකවරයා තනතුරින් අයින් කළා. මේ වෙලාවේ ගල් අඟුරු සම්බන්ධයෙන් වංචාවක් වෙලා තියෙනවා නම් පරික්ෂණ කරලා වරදක් කළ කෙනෙක් ඉන්නවා දඩුවම් දිය යුතුයි.”
“දැන් තියෙන්නේ සුන්බුන් විපක්ෂයක්. මම නව සන්ධානය ගොඩනගන්නේ විපක්ෂයේ සියලු සත්ත්වයින්ට විරුද්ධවයි. වර්තමාන විපක්ෂයේ සිටින පිරිස එක වල්ලේ පොල් විදිහට තමයි මම දකින්නේ. ඔක්කොම ඉන්නේ එක දේශපාලන සංකල්පයක හා සංස්කෘතියක. ඒ ගොල්ලෝ මිත්‍රයෝ. මම අවුරුදු 15 ක් එතන හිටිපු නිසා මේක දන්නවා. ඒ ගොල්ලෝ ඔක්කොම කතා බහවෙලා බෙදාගෙන හදාගෙන කාලා බීලා ඒ ගොල්ලන්ගේ ඉදිරි යහපත වෙනුවෙන් ගමනක් යන්න උත්සහා කරනවා. මේ අයගේ සැබෑ අරමුණු දන්න නිසා තමයි මම ජනාධිපතිවරණයට කලින් එතනින් අයින් වුණේ. එතන ඉන්න මට හිරිකිතයක් ඇති වුණා. විශ්වාසය තැබිය හැකි රටට ආදරය කරන අවංක මිනිස්සු එතන නැහැ. ජනතාව හූරාකන චේතනාවෙන් වැඩ කරන තක්කඩි තමයි වැඩියෙන් ඉන්නේ. ඒ අය කවදාත්වත් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ජනතාව ඔවුන්ව ප්‍රතික්ෂේප කරන්න ඕන.”
“යම් යම් අංශ වලින් වර්තමාන ආණ්ඩුවේ අඩුපාඩු තියෙනවා. අපේ දැක්ම හා ඉලක්කය ආණ්ඩුවේ දැක්ම හා ඉලක්කයම නෙවෙයි. ඊට වඩා පොඩ්ඩක් වෙනස්. ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 3500 යි. මේ අගය 3600 ට යනවා අයෙත් 3400 ට බහිනවා. අපි දකින්නේ ඊට වඩා හුගක් ඉහළ මට්ටමක්. ඒක පුද්ගල ආදායම ඩොලර් 9000 ක් 10000 වගේ තැනකට අරන් යන්න ඉලක්ක කර ගන්න ඕන.”
“ආණ්ඩුවේ ගොඩක් දේවල් අපි අනුමත කරනවා. මේ අයගෙන් බලය ගැලවිලා සුන්බුන් විපක්ෂයට බලය ගියොත් රටට දෙවියන්ගේ පිහිටයි.”
“ආණ්ඩුවේ තනතුරු ගන්න මගේ කිසිම කැමැත්තක් නැහැ. මේ ආණ්ඩුව ගේන්න දරදිය ඇදපු පිරිසක් ඉන්නවා. ආණ්ඩුවේ වගකිව යුතු තනතුරු ඒ අයට හිමිවිය යුතුයි. එහෙම නැතුව පිටින් කට්ටියක් ඇවිත් ඒවා බාරගෙන කරන්න ගියාම සාර්ථක නොවෙන්නත් පුළුවන්. මොකද කණ්ඩායම තුළ ඉන්න අය තමයි වගකීම් දරන්න ඕන. ඒ නිසා මම තනතුරු බාරගන්න ලෑස්ති නැහැ. මගේ ආශිර්වාදය ආණ්ඩුවට තියෙනවා.”







