ඊයේ (08) මධ්‍යම රාත්‍රියේ සීදුව කොටුගොඩ පොලිස් මාර්ග බාධකයේ දී පොලිස් වෙඩි වැදීමෙන් මිය ගිය පුද්ගලයාගේ සිද්ධියට සිදුවූ ආකාරය සම්බන්ධව පොලිසිය විසින් සිදුකළ ප්‍රකාශය ගැටලු සහගත බව අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.
වෙඩි වැදී මිය ගිය 38 හැවිරිදි පුද්ගලයා වාහන මිලදි ගැනීම් සහ විකිණීම් සිදුකන ව්‍යාපාරිකයෙක් බවත්, ඔහු සාමාන්‍ය ජීවිතයේ ඉතාම අහිංසකයෙක් ලෙස සිටියත් බීමත්වූ විට කළහකාරී ස්වරූපයක් ප්‍රකට කරන බවත් මේ වනවිට විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිද්ධිය වූ අවස්ථාවේදී මිය ගිය ගැනැත්තා සමග තවත් පුද්ගලයින් තිදෙනෙක් වාහනයේ ගමන් කරමින් සිට ඇති අතර එම පුද්ගලයා සහ තවත් පුද්ගලයෙක් පමණක් බීමත්ව සිට ඇත.
ඔවුන් වාහනයෙන් ජාඇල සිට පූගොඩට යන්නට පැමිණීමේ දී පාර වැරදීමෙන් දඬුගම පාලම ලඟට වැටී තිබේ. අනතුරුව යළිත් සීදුව හන්දියට පැමිණ කොටුගොඩ හරහා ගම්පහට යෑමට පැමිණි පිරිස මෙම පොලිස් මාර්ග බාධකයේ නවත්වා ඇත.
එහිදී බීමත්ව සිටි පුද්ගලයා තුවක්කුව උදුරා ගන්නට ගියේ ද, එසේත් නැතිනම් පොලිසිය සමග යම් කිසි බහින්බස් වීමකින් පසු පොලිසිය පාර්ශවයෙන් මෙම වෙඩි ප්‍රහාරය එල්ලවූයේ ද යන්න පිළිබඳ සැකයක් මතු වී ඇතැයි වාර්තා වේ.
සිද්ධිය ඇසින් දුටු පුද්ගලයින් තිදෙනෙක් සිටින අතර ඉන් දෙදෙනෙක් මත්පැන් පානය නොකළ හොඳ සිහියෙන් පසු වූ පුද්ගලයින් බැවින් ඔවුන් ලබා දෙන සාක්ෂි මත පරීක්ෂණයේ ඉදිරිය තීන්දු වනු ඇතැයි විමර්ශන අංශ කියයි!








