පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන් එම ධූරයෙන් නෙරපීම සඳහා ඔහුට එරෙහි චෝදනා විමර්ශන කළ පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව නිර්දේශ කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට අද (22) දැනුම් දුන්නේය.
අද පාර්ලිමේන්තුව අමතමින් කථානායක ජගත් වික්‍රමරත්න පැවසුවේ, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත එල්ල වූ සියලු චෝදනාවලට ඔහු වැරදිකරු බව විමර්ශන කමිටුව විසින් තීරණය කර ඇති බවත් ඔහු ධූරයෙන් නෙරපා හැරීමට නිර්දේශ කර ඇති බවත්ය.
වැරදි හැසිරීම සහ බලය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් දේශබන්ධු තෙන්නකෝන් වෙත නැගුන චෝදනා මත පොලිස්පති ධූරයේ රාජකාරි අත්හිටවනු ලැබූ පසු ඔහු සම්බන්ධ විමර්ශනය කර අවශ්‍ය නිර්දේශයක් ලබා ගැනීම සඳහා විමර්ශන කමිටුවක් පත් කිරීමේ යෝජනාවක් අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් පසුව අප්‍රේල් මාසයේ දීම මෙම කමිටුව පත් කරන ලදී.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ගේ සභාපතිත්වයෙන් යුතු මෙම පාර්ලිමේන්තු කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විනිසුරු නීල් ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති හිටපු විනිසුරු ලලිත් ඒකනායක යන කටයුතු කළහ.
පාර්ලිමේන්තු විමර්ශන කමිටුවක් මගින් ඉතිහාසයේ පළමු වරට පොලිස්පතිවරයෙක් ධූරයෙන් පහ කරෙන්නේ මේ අවස්ථාවේ දී ය.







