ශ්‍රියානි විජේසිංහ –
සිංහල හින්දු අලුත් අවුරුදු සමයට පෙර ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ආහාර පිසින, නිෂ්පාදන හා අලෙවි ක්ෂේත්‍ර ආශ්‍රිත රැකියාවන් හි නිරත පුද්ගලයින් 50,000 ක් සඳහා “ටයිපොයිඩ්” එන්නත ලබාදීමේ විශේෂ වැඩසටහනක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ වසංගත රෝග විද්‍යා අංශය විසින් ආරම්භ කර ඇත.
ගෙවුණු කාල පරිච්චේදය තුළ මෙරට “ටයිපොයිඩ්” රෝග ව්‍යාප්තිය හා රෝගය වැළදීම පිළිබඳ ව වාර්තා වු දත්ත පාදක කර ගනිමින් සකස් කළ ප්‍රමුඛතා ලැයිස්තුවක් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
ගෙවුණු කාල පරිච්ඡේදය තුළ “ටයිපොයිඩ්” රෝගය වැළදීමේ හා පැතිරීමේ වැඩි ප්‍රවණතාවය ආහාර පිසීම, ආහාර නිෂ්පාදනය හා අලෙවි ක්ෂේත්‍ර මුලික කර ගනිමින් සිදුවන බව ගෙවුණු වසර කිහිපයක සංඛ්‍යා ලේඛණ අනාවරණය කර ඇත.
එබැවින් එම ක්ෂේත්‍රවල සේවයේ නියුතු පිරිස් ඉලක්ක කර ගනිමින් මෙම එන්නත් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය තිලංග රුවන් පතිරණ සඳහන් කළේ ය.
මෙම එන්නත ලබාගැනීමෙන් “ටයිපොයිඩ්” රෝගයෙන් ආරක්ෂා වන අතර, රෝගය පැතිරීමේ අවධානම ද තුරන් වේ.
මෙරට සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥයින් දැනට ස්ථානගත කර ඇති අතර, එම පිරිස දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 358 ක් තුළින් එක්රැස් කරගත් දත්ත පාදක කර ගනිමින් මෙම “ටයිපොයිඩ්” එන්නත් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ.
මෙහි දී ජංගම ආහාර වෙළෙන්දන්, ආපන ශාලා සේවකයින්, ජනාකීර්ණ ස්ථානවල ආහාර අලෙවි කරන්නන් මෙන්ම අධ්‍යාපන ආයතන, පාසල් සහ අනෙකුත් ආයතන වෙත සමූහ ලෙස ආහාර පිසින, අලෙවිකරන සහ බෙදාහරින පුද්ගලයින් ඉළක්ක ගත ව මෙම වැඩසටහන් ක්‍රියාත්මක වේ.
“ටයිපොයිඩ්” රෝගයෙන් ආරක්ෂා වීම සදහා මෙම එන්නත වසර 03 කට වරක් ලබාගත යුතු බවට සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇත.







