ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ මැදිහත්වීම යටතේ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවීමට නියමිත ‘ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව’ පෙබරවාරි 04 සිට 11 දක්වා දින හතක කාලයක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත් වේ.
එහි මූලික සංවිධාන කටයුතු පිළිබද සොයා බැලීමේ සාකච්ඡාවක් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී උපන් ගම් ප්‍රදේශය වන ගුජරාට් ප්‍රදේශයේදී 60 දශකයේදී සිදු කරන ලද කැණීම් වලින් සොයා ගන්නා ලද බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ මෙතෙක් ඉන්දියාවෙන් පිට වැඩම කර නොමැති අතර, පසුගියදා සිදු වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ශාරීරික ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමේ දුර්ලභ අවස්ථාව මෙරට ජනතාවට උදාකර දී තිබේ.
පෙබරවාරි 04 වනදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරවීමට නියමිත අතර එදින සිට හුණුපිටිය ගංගාරාම විහාස්ථානයේදී සාමාන්‍ය ජනතාවට ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමට අවස්ථාව විවෘත වේ.
ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ පෙබරවාරි 04 වනදා ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවන මෙහොතේ සිට නැවත ඉන්දියාවට වැඩම කරවීම දක්වා වූ කාල පරිච්ඡේදය තුළ අවශ්‍ය පහසුම් සැලසීම සහ එහිදී එක් එක් ආයතන වෙත පැවරි ඇති කාර්යයන් සහ ඊට අදාළ සැලසුම් පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
මෙහිදී අදහස් දැක්වු ගංගාරම විහාරාධිපති පූජ්‍ය කිරින්දේ අස්සජි නායක ස්වාමීන් වහන්සේ සඳහන් කළේ ශ්‍රී සර්වඥධාතු වන්දනාව සඳහා කොළඹට ඇදී එන අතිවිශාල ජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බවය. ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව සඳහා ගංගාරම විහාරස්ථානය සුදානම් කර තිබෙන අන්දම පිළිබඳවද උන්වහන්සේ මෙහිදී අදහස් දැක්වූහ.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මෙහිදී සඳහන් කළේ මෙය ශ්‍රී ලංකාවාසී ජනතාවට හිමි වු ඓතිහාසික අවස්ථාවක් මෙන්ම රට තුළ බෞද්ධ පුනරුදයක් ඇති කිරීමෙහිලා වූ වැඩපිළිවෙළහි සුවිශේෂී අවස්ථාවක් බවයි.
ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නායක හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයද, බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුප්, කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් , මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න ඇතුළු අදාළ අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය ආයතන ප්‍රධානීහුද, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ.බණ්ඩාරද, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහුද මේ සඳහා අනුග්‍රහය දක්වන පෞද්ගලික ආයතනවල නියෝජිතයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.







