දිනසේන රතුගමගේ –
ඉන්දීය ධීවරයින්ගේ ප්රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට අවශ්‍ය මූලික පසුබිම සකස් කෙරන සාකච්ඡාවක් උතුරේ ධීවර නියෝජිතයින් හා තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවන බව ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක එස්. ශ්‍රිධරන් මන්ත්‍රීවරයා 14 දා කිළිනොච්චියේදී පැවසීය.
තමන් ඉන්දියාවේ සංචාරය කළ අවස්ථාවේදී තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්. කේ. ස්ටාර්ලින් හමු වූ බවත් එහිදී මෙම යෝජනාව ඔහුට ඉදිරිපත් කළ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ප්‍රධාන අමාත්‍යවරයා එකඟ වූ බවත් ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
ඒ අනුව මේ මස අවසාන සතියේදී සාකච්ඡා වටයක් පැවැත්වීමට තීරණය කොට ඇති නිසා එම සාකච්ඡාවට උතුරු පළාතේ ධීවර සංගම් නියෝජිතයින් හත් දෙනෙකු තමිල්නාඩුවට යාමට නියමිත බවද මන්ත්‍රීවරයා සදහන් කළේය.
ශ්‍රී ලංකා රජය මේ ප්රශ්නය විසඳීමට පියවර රැසක් ගෙන ඇතත් එම තීන්දු තීරණ ක්‍රියාවට නැංවීමේදී විශාල ප්‍රමාදයක් හා එකඟතාවයකට නොපැමිණීමක් දක්නට ඇතැයි ශ්‍රී ධරන් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
ධීවර නීති රීති හා පනත් සැකසීමට පෙර දෙරටේම ධීවරයින් කිසිදු ප්‍රශ්නයකින් ගෝ ගැටලුවකින් තොරව ඉන්දීය සාගරයේ ඉතා සුහදව මසුන් මැරූ බව සිහිපත් කරණ ශ්‍රීධරන් මන්ත්‍රීවරයා එම අත්දැකීම් මේ සාකච්ඡාවට ඈඳා ගැනීමටත් ප්‍රායෝගිකව පැන නැගී ඇති ගැටලු හා ප්‍රශ්න වලට විසදුම් සොයා ගැනීමත් සිදු වන බවද කියා සිටියේය.







