මහියංගනය රජ මහා විහාරයේ පෙරහරට ගෙන විත් මහියංගන සමන් දේවාලය අභියස ගඟ අද්දර රඳවා සිටි මහරගම සීතා ඇතින්නට වෙඩි තැබූ පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වැරදි කරුවන් වෙත දඬුවම් ලබා දෙන ලෙස හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
එම සංගමයේ ලේකම් දම්සිරි බණ්ඩාර පවසන්නේ මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ රබර් උණ්ඩවලින් නොව ජීව උණ්ඩ භාවිතා කරමින් යැයි පශු වෛද්‍ය නිරීක්ෂණයන්ගෙන් පැහැදිලි වූ බවය.
වෙඩි කෑ සීතා ගැන පරීක්ෂාවට පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල සමග හීලෑ අලි ඇතුන් හිමයන්ගේ සංගමයේ සභාපති, දියවඩන නිලමේ නිලංග දෑල, සහ සංගමයේ ලේකම්වරයා ලෙස තමන් මහිංගනය ගිය බව දම්සිරි කරුණාරත්න පැවසුවේය.
ලේකම්වරයා කියන්නේ සීතාට වෙඩි තැබූ වනජීවී ආරක්ෂක සේවයේ සිටි සිවිල් ආරක්ෂකයා බීමතින් සිටි බවට තොරතුරු අනාවරණය වුවද ඒ බව තහවුරු කරගැනීමට පොලිසිය කිසිම පියවරක් ගෙන නොමැති බවය.
මේ අවිචාරවත් හැසිරීම ගැන චෝදනා කරන හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය පවසන්නේ මහිංයගනය පෙරහරට රැගෙන එන අලි ඇතුන් රඳවා තබන්නේ මහියංගන සමන් දේවාලය අභියස ගඟ අද්දර බව නොදන්නා දරුවෙක්වත් ප්‍රදේශයේ නොමැති බවය.
මෙවැනි අනාරක්ෂිත තත්ත්වයක් තුළ හීලෑ අලි ඇතුන් දුර පළාත්වල පෙරහරට සම්බන්ධ කීරීම පිළිබඳව නැවත සිතා බැලිය යුතු තත්ත්වයක් ඇතැයි එම සංගමයේ ලේකම්වරයා පැවසුවේය.







