දිනසේන රතුගමගේ –
රජයේ ගුරුවරුන්ට ලබාදිය යුතු තුනෙන් දෙකක හිඟ වැටුප ලබා දීමට පියවර නොගතහොත් සියලු ගුරුවරුන්ගේ සහභාගිත්වයෙන් යුතුව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු ඊයේ ( 5 ) වවුනියාවේදී පැවසීය.
ගුරුවරුන්ට සිදුවන අසාධාරනකම්වලට එරෙහිව රජයට විරුද්ධව දිගින් දිගටම සටන් කරණ බවද ලංකා ගුරු සංගමය මෙහිදී අවධාරණය කළේය.
මෙවර ලෝක ගුරු දිනය සැමරීම වවුනියාවේදී සංවිධානය කොට තිබූ අතර ඊට ප්‍රදේශයේ ගුරුවරුන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
ඉල්ලීම් රැසක් ඉල්ලමින් වවුනියාව නගරයේ පෙළපාලියකින් ගමන් කළ ගුරුවරුන් පසුව නගරයේ සුද්දානන්ද හින්දු සංගම් ශාලාවේදී රැස්වීමක්ද පවත්වනු ලැබීය.
එහිදී ගුරු සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ගුරු ප්රඥප්තියේ සඳහන් කිසිදු කාරණවක් රජය මගින් ඉටු නොකරණ බවයි.
ගුරුවරුන්ගේ කටයුතුවලට දේශපාලනය මැදිහත් වී ගුරු සේවාව දේශපාලනීකරණය වී ඇති බවත් ගුරුවරුන්ගේ උසස්විම් ස්ථාන මාරු වැටුප් විෂමතා ඉවත් කිරීම් හිඟ වැටුප් ගෙවීම් ශ්‍රේණිවල පිහිටුවීම් වැනි කරුණු කිසිවක් මේ රජයෙන් ඉටු නොවන බවත් ගුරුවරුන් සම්බන්ධයෙන් රජය ක්‍රියාකරන්නේ දැඩි අසාධාරණ හා විධිමත් භාවයකින් තොරව බවත් සඳහන් කළේය.
මේ තත්ත්වය තවත් ඉදිරියට මේ අකාරයෙන්ම ගමන් කරන්නේ නම් සියලු ගුරුවරුන්ගේ සහයෝගයෙන් යුතුව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බවද සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.







