ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලබන පරාජයන් ක්‍රිකට් වලට බෙහෙවින්ම ආදරය කරන ජනතාවට වේදනාවක් ඇතිකරන බව පිළිගන්නා අතරම එම පරාජය සම්බන්ධව රටෙන් සමාව ඉල්ලා සිටින බව ද ශ්‍රී ලංකා එක් දින කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් අද මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.
ඔහු ඉල්ලා සිටියේ ක්‍රීඩකයෙක් වැටුණු අවස්ථාවල පන්න පන්නා ඔහුට පහරදීම නවත්වන ලෙසය. එවැනි අවස්ථාවල දී වැටුණු තැනින් නැගී සිටීම විශාල උත්සාහයක් දැරීමට සිදුවන බවද කුසල් පැවසුවේය.
“ අපි ඕන අවස්ථාවක වැටෙන්න පුලුවන්. එත් අපි හැමදාම ෆේල් වෙලා ඉඳලා නෑ. හැමෝම හොඳට කරපු අවස්ථා තියනවා. ඒ වගේ වෙලාවක අපිව තවත් පහළට වට්වන්නේ නැතිව අපට ශක්තිමත් වෙන්න උදව් කරන්න. මට පුද්ගලික අත්දැකීම් තියනවා. පාරෙ යනකොට පිටිපස්සේන් ඇවිත් මට එක එක දේවල් කියනවා. “
වැටී පීඩාවට පත් වූ ක්‍රීඩකයෙකුට එවැනි ප්‍රකාශ බරපතල ලෙස දැරෙන බවත් කිසිම ක්‍රීඩකයෙක් සැලසුම් සහගතව අසමත්වන්නට හෝ රට පරාජය කරන්නට ක්‍රීඩා නොකරන බවත් ඔහු පැවසුවේය.







