ශ්රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ආකාරයෙන් ලියාපදිංචි වූ වාහන සම්බන්ධව කරන විමර්ශනයක දී රේගුවෙන් නිෂ්කාශනය නොවූ ටොයෝටා වර්ගයේ ජීප් රථයයකට අංක තහඩුව නිකුත් කිරීමට අනුමැතිය ලබාදීම සම්බන්ධව සැකපිට අත් අඩංගුවට ගත් මොටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු මොටර් රථ කොමසාරිස ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනෙක් මේ මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය අද නියෝග කළේය.
අද අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන තිබුණේ හිටපු මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ බ්රාහ්මණ වාසල ප්රියන්ත බණ්ඩාර ඊරියගම ( සහකාර අධ්යක්ෂ, තොරතුරු තාක්ෂණ – විශ්රාමික) සහ අත්තරගම ගෙදර ධම්මික නිරෝශන් ( ලිපිකරු ) යන තිදෙනාය.
සැකකරුවන් අද (01) කොළඹ ප්රධාන මහේස්ත්රා තනූජා ලක්මාලී ජයතුංග ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් ප්රකාශ කළේ මේ ආකාරයෙන් අනීතික ලෙස වාහන 177 ක් මෙරටට ගෙන්වා නීතියට පටහැනි ලෙස ලියාපදිංචි කර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් මෙම සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදුවන බවත්ය.
ඒ අනුව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව අධිකරණය සැකකරුවන ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.







