දිනසේන රතුගමගේ –
මාර්තු මස 30 වෙනිදා සිට ඉන්දියාවේ ඉන්ඩිගෝ ගුවන් සමාගම යාපනය හා ට්‍රිචී අතර නව ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කොට තිබේ.
යාපනය හා ට්‍රිචී අතර සෘජු ගුවන් ගමන් ආරම්භ වන්නේ වසර 47 කට පසුව වන අතර ඊට පෙර එයාර් සිලෝන් ගුවන් සමාගම මෙම ගුවන් ගමන් ක්‍රියාත්මක කොට තිබේ.
ඉන්ඩිගෝ සමාගම ආරම්භ කරන මෙම ඍජු ගුවන් ගමන් දිනපතාම සිදු කෙරෙන බව එම සමාගමේ ගෝලීය විකුණුම් ප්‍රධානී විනෙයි මල්හෝත්‍රා ප්‍රකාශ කර ඇත.
ඉන්ඩිගෝ ගුවන් සමාගමට අයත් යානාවක් දිනපතාම පස්වරු 1-25 ට ට්‍රිචී ගුවන් තොටුපලෙන් යාපනය බලා පිටත් වන අතර ආපසු යාපනයෙන් සවස 3-10ට ට්‍රිචී බලා පියාසර කිරීමට කාලසටහන් සකසා තිබේ.
ව්‍යාපාරික හා ආගමික සංචාර සඳහා මෙම ගුවන් මාර්ගය ප්‍රචලිත වී ඇති අතර සෘජු ගුවන් ගමන් දෛනිකව ක්‍රියාත්මක කිරීම දෙරටේ ආර්ථික වර්ධනයට හේතුවනු ඇති බව මල්හෝත්‍රා පෙන්වා දී ඇත.
ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට වැඩිම ගුවන් ගමන් සංඛ්‍යාවක් ක්‍රියාත්මක කොට ඇත්තේද ඉන්ඩිගෝ සමාගම බව එම සමාගම පෙන්වා දෙයි.
සතියකට ගුවන් ගමන්වාර 54 ක් ඉදුරාම සිදු කෙරෙන අතර ඊට අමතරව සංචාරකයින් විසින් කුලියට ලබා ගන්නා ඉන්ඩිගෝ සමාගමේ ගුවන් යානා ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට මෙහෙයවනු ලබන බවද ඔහු සදහන් කරයි.







