ඊයේ (13) රාත‍්‍රියේ බලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව දුම්රිය රියදුරන්ගේ වැඩවර්ජනය අත්හිටවූ බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පැවසීය.
බඳවා ගැනීම් සහ විශ්‍රාම ගැන්වීම් ක්‍රියාවලියට අදාළ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ සාමාජිකයින් 84 දෙනෙකු පසුගිය 12 වනදා වැඩවර්ජනයක් ආරම්භ කළහ.
වර්ජනය හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවට පත් වූ අතර, වර්ජනය ක්‍රියාත්මක වෙමින් තිබියදී හොරපේ දුම්රිය ස්ථානයේ දී දුම්රියේ වහලෙන් වැටී නව යොවුන් වියේ පසු වූ තරුණ ශිෂ්‍යයෙක් ද මිය ගියේය.
ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් රටේ දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කළේය.
ඒ අතර දුම්රිය එන්ජින් රියදුරන්ගේ ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව ඊයේ (13) සවස රැස්විය.
එහිදී එළැඹුණු තීරණ ශ්‍රී ලංකා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් වෘත්තීය සමිති සාමාජිකයින්ට දැනුම් දීමෙන් පසු දුම්රිය සේවකයින් විසින් ආරම්භ කර තිබූ වැඩවර්ජනය අත්හිටුවන ලදී.
අද (14) පස්වරුව වන විට දුම්රිය ධාවනය සාමාන්‍ය තත්ත්වයට පත් කරන බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම්.සේනානායක පැවසීය.







