පාර්ලිමේන්තු පිවිසුම ඉදිරිපිට දී අද අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් 12 දෙනා නවගමුව පොලීසිය විසින් කඩුවෙල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව අද සවස පෞද්ගලික ඇප මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරිය පියවර ගත්තාය. එසේම මෙම තරුණ තරුණියන්ට නැවත පාර්ලිමේන්තුව අසලදී විරෝධතා පැවැත්වීම වළකමින් නියෝගයක් නිකුත් කරන ලෙස පොලීසිය විසින් කරන ලද ඉල්ලීම ද ඇය ප්‍රතික්ෂේප කළාය.
තරුණියන් දෙදෙනෙකු ද ඇතුළු මෙම දොළොස්දෙනා නවගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මහරගම පොලීසිය වෙත රැගෙන යෑමට කටයුතු කෙරිණි. ඉන්පසු අද හවස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඔවුන් ඉදිරිපත් කළ අතර ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට ප්‍රමුඛ පෙළේ නීතිවේදීන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියහ.
එම නීතිඥයන් වෙනුවෙන් මාධ්‍යයට කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ප්‍රකාශ කළේ සාමකාමී විරෝධතාවක යෙදුණු මෙම තරුණයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ කළ බවට චෝදනා නඟමින් පොලීසිය ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට උත්සාහ කළ බවයි. එහිදී තරුණයින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වරප්‍රසාද කඩ වීමක් සිදු වෙන්නේ නම් මුලින්ම ඒ පිළිබඳ කතානායකවරයාට පැමිණිලි කළ යුතු වන අතර එයින් පසු පාර්ලිමේන්තුවේ අනුමැතිය සහිතව නීතිපතිවරයා හරහා ක්ෂෙත්‍ර අධිකරණයේ නඩු පැවරිය යුතු බවයි. එසේ නොමැතිව හදිසියේ පොලීසිය මඟින් මෙම චෝදනා මත මෙම තරුණයින්ට එරෙහිව පියවර ගැනිම යුක්ති සහගත නොවන බව නීතිඥයින් අධිකරණය හමුවේ පෙන්වා දී තිබේ.
මේ කරුණු සළකා බලමින් ඔවුන්ට ඇප ලබා දීමට මහේස්ත්‍රාත්වරිය කටයුතු කළ බව ජයමාන්න මහතා පැවසීය.
එසේම ජනාධිපති නීතිඥ ජයමාන්න මහතා පැවසුවේ මෙම ස්ථානයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සාමකාමී විරෝධතාවක යෙදුණු වයස අවුරුදු 16 17 හා 25 වැනි වයස්වල තරුණ ජවය බවත් ඔවුන් හොඳින් ඉංග්‍රීසි භාෂාව හැසිරවිය හැකි තරුණයන් වන අතර ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් කළ සාමකාමී උද්ඝෝෂණයේදී කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් ඔවුන් විසින් සිදු නොකරන ලද බව අධිකරණය හමුවේ ප්‍රකාශ වූ බවය. ඔවුන්ට රටේ ව්‍යවස්ථාව අනුව ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් සාමකාමී උද්ඝෝෂණයක යෙදීමේ අයිතිය ද අධිකරණයේදී පෙන්වා දී ඇත. මෙම කරුණු අනුව ඔවුන්ට පාර්ලිමේන්තු පිවිසුම අසළ උද්ඝෝෂණ වළකන්නැයි පොලීසිය විසින් කරන ලද ඉල්ලීම මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කර ඇත.









