රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ –
අසත්‍ය චෝදනා හේතුවෙන් අනියවාර්ය නිවාඩු යැවූ තමන්ට හිමි හිඟ වැටුප් සහ දීමනා ලබා දෙන ලෙස ඉල්ලා කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි සාබ්දීන් ගොනුකළ රිට් පෙත්සමක් ලබන මාර්තු මස 04 වැනිදාට සලකා බැලීමට අභියාචනාධිකරණය අද (17) නියෝග කළේය.
අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා ඉදිරියේ අද (17) මෙම පෙත්සම සැලකිල්ලට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විණී.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ, කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ ඒ. එම්. එස්. වීර බණ්ඩාර, සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය එස්. එච්. මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන අයය.
පෙත්සම්කාර වෛද්‍යවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥවරුන් සඳහන් කර සිටියේ තම සේවාදායකයාට එරෙහිව සිදුකරනු ලබන මූලික විනය පරීක්ෂණය කුරුණෑගල මුලික රෝහලේ අධ්යක්ෂවරයා වන වෛද්‍ය චන්දන කැන්දගමුව සිදුකිරිම සම්බන්ධයෙන් සිය විරුද්ධත්වය ප්‍රකාශ කරන බවය’
වගඋත්තරකරුවන් වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත කළ අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන සඳහන් කර සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 58 සහ 61 වගන්ති ප්‍රකාරව රාජ්‍ය සේවා කොමිසම හමුවේ පවතින කරුණක් පිළිබදව සොයා බැලීමට අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවය.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි තමන් වඳ සැත්කම් කළැයි අසත්‍ය චෝදනා එල්ල වූ බව සඳහන් කරන පෙත්සම්කරු මේ හේතුවෙන් තමන්ව අනිවාර්ය නිවාඩු යැවූ බවත්, එහෙයින් තමන්ට හිමිවිය යුතු හිඟ වැටුප් සහ දීමනා මෙතෙක් ගෙවා නොමැති බවත් සඳහන් කර ඇත.
ඒ අනුව එම හිඟ වැටුප් සහ දීමනා තමන්ට ලබා දෙන ලෙසට වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.







