මනම්පිටිය නිමල් ජයරත්න –
පොලොන්නරුව කන්දේගම, ධනංජය රජමහා විහාරස්ථානයට මෙන්ම සාගරමති පිරිවෙනට අද (29) අලුයම කඩාවැදුණු වන අලි රංචුවක් පිරිවෙනේ බෝධීන් වහන්සේට, සංඝාවාස ගොඩනැගිලිවලට මෙන්ම සාමණේර භික්ෂුන් වහන්සේලා වැඩ සිටින කුටිවලට දැඩි හානි සිදුකර ඇති බව ධනංජය රජමහා විහාරාධිපති පූජ්‍ය කන්දේගම දිීපවංශාලංකාර නාහිමියෝ සඳහන් කළහ.
මාදුරුඔය ජාතික වනෝද්‍යානයෙන් නිරන්තරව විහාරස්ථානයට කඩා පනින වන අලි රංචු නිසා පිරිවෙනේ අධ්‍යාපනය ලබන සාමණේර භික්ෂුන් වහන්සේලා 25 නමකගේ ජීවිත අනතුරට පත්ව ඇති බවද දීපවංශාලංකාර හිමියෝ සඳහන් කළහ,

29 වෙනිදා අලුයම විහාරස්ථානයට කඩා වැදුණු වන රංචුව පොල්ගස්, හා ගෙවත්තේ සිටුවා තිබූ බෝග රැසක් විනාශ කර ඇති අතර, සාමණේර භික්ෂූන් වහන්සේලා වැඩ සිටින කුඩා කුටිවලටත්, බීමට ජලය දමා තිබූ විශාල බූලී කිහිපයකට ද දැඩි ලෙස හානි සිදුකර ඇති බව දීපවංශාලංකාර නාහිමියෝ සඳහන් කළහ.
ධනංජය රජමහා විහාරස්ථානයට නිරන්තරව පවතින වන අලි තර්ජනය පිළිබඳව වනජීවි නිලධාරීන් මෙන්ම දේශපාලන අධිකාරිය දැනුවත් කළ ද ඊට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පවසන දීපවංශලංකාර නාහිමියන් සඳහන් කළේ කුඩා සාමණේර භික්ෂුන් වහන්සේලාගේ ජීවිත අනතුරට පත්ව ඇති බවත්, ඒ සඳහා කඩිනම් ක්‍රියා මාර්ග ගෙන, වන අලි තර්ජන වලින් තම සාමණේර භික්ෂුන් වහන්සේලා ජීවිත මෙන්ම විහාරස්ථානය බේරා ගන්නා ලෙසත්ය
කන්දේගම ධනංජය රජමහා විහාරස්ථ භූමියේ පිහිටා ඇති ධානිගල නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් විශාල වශයෙන් පැමිණ රාත්‍රී කාලයේදී නවාතැන් ගන්නා බවත් ඔවුන්ගේද ජීවිත අනතුරට පත්ව ඇති බවත්, නවතා ඇති වාහනවලට වන අලින්ගෙන් මෙන්ම වඳුරන්ගෙන් රිලව්ගෙන් දැඩි ලෙස හානි සිදුවන බවත් විහාරාධිපති ස්වාමීන් වහන්සේ පෙන්වා දුන්හ.
අප මේ පිළිබඳව ප්‍රදේශය භාර වනජීවී නිලධාරීන්ගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ විශාල වශයෙන් එළ හා මී ගවයන් ගාල් කර ඇති බැවින් වනෝද්‍යානයේ ආහාර හිගය නිසා මෙම වන අලි වැඩි වශයෙන් අසල ගම්මානවලට පැමිණීම වැළැක්විය නොහැකි බවය.







