සේමාලි කැල්ලපත – නවසීලන්තයේ සිට
නවසීලන්තයේ ගෙවී යන හැම තත්ත්පරයකදීම අත්විඳින්නට හෝ අසන්නට ලැබෙන හෝ බොහෝ දෙයින් සැමවිටම අපට සිහිපත් කෙරෙන දෙයක් වෙයි. මේ රට මේ මිනිසුන් මේ පාලකයන් රටේ පරිසරය රකින්න මෙනේම තිබෙන පරිසරය දූෂිත නොවී ඉදිරියට රැක ගැනීම සියලු කාර්යයන්ට වඩා ප්රමුඛ ලෙස සලකා කටයුතු කරන අන්දමයි.
නාගරික පරිසරයෙන් මිදී දුර පළාත්වල සංචාරය කරද්දී අප දුටු බොහෝ ඇළ දොළ ගංගාවන් ඒ මොහොතේ දෑතින් දිය දෝතක් ගෙන බීමට තරම් පිරිසුදු මනරම් නිල් දියදහරින් පිරී තිබීම අප සැමවිට පුදුමයට පත් කළේය. ජල සම්පත රකින්නට ඇති නීතිරීති සමුදාය පමණක් නොව මේ රටේ ජනතාව පවා පරිසරයට දක්වන ඇල්ම අතිමහත්ය.
ලෝකයේ පැහැදිලි පිරිසිදු නිල් ජලය පිරි නිල් විල
ලෝකයේ ඉතාම පිරිසුදු පැහැදිලි නිල් ජලයෙන් යුතු විල ඇත්තේ නවසීලන්තයේ දකුණු දූපතේ තස්මන් දිස්ත්රික්කයේය. නමින් නිල් විල ය. එම ප්‍රදේශය කඳු වළල්ලකින් සෙවණ ලබන ගමන් හිරු එළියෙන් දීප්තිමත්වන වෙරළ තීරයක් හා ජාතික වනොද්යානවලින් පිරුණු පළාතකි. නෙල්සන් ජාතික විල් වනොද්‍යානය ලෙසින් නම් කර ඇති මේ උද්‍යානය ඇතුළත විල් විශාල සංඛ්‍යාවක් ද වෙයි.

ඉතා කුඩා ප්‍රමාණයේ විලක් වන මෙහි ජලය පෙරාපු ජලය මෙන් පිරිසුදුය. නිල්වන්ය. 2011 වසරේ ජාතික ජල හා වායුගෝල පර්යේෂණ ආයතනයේ පර්යේෂකයන් කළ පර්යේෂණයකදී නිල් විලේ ජලයේ ද්‍රෘශ්‍ය පැහැදිලිතාව මීටර් 80ක් බව තහවුරු කර ඇත. දසදහස් වරක් පෙරාපු ජලය මෙන් පහැදිලි මේ විලේ ජලය නිල් කැඩපතක් බඳුය. මතුපිට සිට බලද්දී පතුල ඉතා පැහැදිලිව දැකිය හැකිය.
මහ වන මැද රකින දිය සම්පත
නිල් විල පිහිටා ඇත්තේ ද දැඩි සංරක්ෂිත වනගත ප්රදේශයකය. කිලෝමීටර් 2-3 ක දුරක් වනාන්තරය මැදින් යායුතු ගමනකි. එසේ ගියද විල්තෙරට ඇතුළුවුවද පිහිනීම් කිමිදීම් හා බෝට්ටු සවාරි සපුරා තහනම්ය. සාමාන්‍ය සංචාරකයන්නම් විල් තෙරට ඇතුළු වීමට ද අවසර ගත යුතුය. නවසීලන්ත සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සහ ප්‍රදේශයේ මවුරි ජන නායකයන් වෙතින් ඒ සඳහා ලෙහෙසියෙන් අවසර ලැබෙන්නේද නැති තරම්ය. නවසීලන්ත ආදී වාසීන් වන මවුරි ජාතිකයෝ ද මේ විල සිය පණමෙන් සුරකිති. මවුරි භාෂාවෙන් ඔවුන් නිල්විල හඳුන්වන්නේ ‘ සාමකාමී ජලය සහිත භූමිය ‘ යන අරුත් දෙන වදනකිනි.
පැහැදිලි සහ පිරිසුදු ජලය සහිත ලොව එකම විල ලෙස විරුදාවලි ලත් මේ නිල් විල බලාකියා ගැනීමට දැන් පළමු වරට කාන්තාවක පත්කර තිබේ. නවසීලන්ත සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ පත් කිරීම කරනු ලැබ ඇත්තේ ඉතිහාසයේ ප්‍රථම වරටය. මීට පෙර වසර කීපයක් පුරා විල බලාකියා ගෙන තිබුණේ ස්වෙච්ජාවෙන් ඉදිරිපත්වූ මවුරි හා ප්‍රදේශවාසීන් විසිනි. ඔවුන්ට අමතරව මෙලෙස නිත්‍යනුකූල භාරකාරිනියක පත් කිරීමට හේතුවී ඇත්තේ වැව ඇල්ගී ආක්‍රමණයෙන් බේරා ගැනීම සඳහාය.
නිල් විලට තවමත් ආක්‍රමණයක් නොවූවත් නෙල්සන් ප්‍රදේශයේ වෙනත් විල් කීපයක් ප්‍රථම වරට ඇල්ගී ආක්‍රමණයට ලක්ව තිබිම බලධාරීන්ගේ බියට හේතුවී තිබේ. විල බලා ගැනීමට කෙනකු පත්කර ඇත්තේ එනිසාය. ඒ භාරකාරිනිය ද මවුරි ජන වාර්ගිකයකු වීම විලේ ආරක්ෂාව තහවුරු කිරීමට ගත් පියවරකි. මේ මිනිසුන් තමන් සතු අවම සම්පත් පවා රැක ගැනීමට අනතුර තමන් ළඟට එනතුරු බලා නොසිට ක්‍රියාත්මක වන අන්දම පෙනේද?

මේ තොරතුර කියවූ පමණින් මට සිහිපත් වූයේ පුරාණයේ ලොව අනර්ගතම වැව් පද්ධතියක් තිබූ අප රටේ ද එකල වැව් රැකගත් හෙළ විරුවන් ගැන අප අසාඇති කතාය. සොරබොර වැව කරවූ බුලතා යෝධයා ද ඌරුසිටා වැව තැනූ ඌරු සිටාණන් ද කොහොඹෑවැව කළ හිටිහාමි යෝධයා ද සිය පණසේ සලකා වැව් රැකගත් බව අපි අසා ඇත්තෙමු.
වැවේ භාරකාරිනිය ලෙස පත්කළ කයිලී බැට් සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරිනියක ලෙස පමණක් නොව ප්‍රදේශයේ මවුරි ප්‍රජාවේ සාමාජිකාවක ලෙස නිල් විල රැක ගැනීම සිය ජාතියේ වගකීමක් ලෙස සලකන්නීය. එය ඇය අයත් මවුරි ප්‍රජාවට හිමිවූ විශේෂිත සංස්කෘතික වගකීමක් ද වන්නේය.
මෙරට ජනතාව විශේෂයෙන් වසන්ත සමයේ විවේක දිනයක් ඇත්නම් එක්කෝ මුහුදු වෙරළක් සොයා යති. නැත්නම් වනොද්‍යානයකට යති. කොහෝ හෝ නිදහස් තැනක කුඩා කූඩාරමක් අටවා එකා දෙන්නා මෙන්ම පවුල් පිටින් නිදහසේ පරිසරය විඳිති. එසේත් නැතිනම් පිටේ එල්ලාගත් බෑගයක අඩුමකුඩුම ටිකක් දමාගෙන වනාන්තර හා කඳු පල්ලම් අතරේ ගමනේ යෙදෙති. එසේ ගොස් කැලයක හෝ ගඟක් අයිනේ රැයක් දෙකක් ගෙවති. කෝවිඩ් වසංගතය ලොවට හදි කළත් මෙරටේ මිනිසුන්ගේ නිදහසේ පරිසරය විඳීමට ඇති අයිතිය නම් පැහැර ගැනීමට බැරිවී ඇති සෙයකි. ඔවුන් එතරම්ම හිරු එළියට ගංගා ඇළ දොළට වනාන්තරවලට හා මුහුදු වෙරළට ආදරය කරති. ආසා කරති.

නිල් විල රකින කයිලී ගේ වගකීම
නිල් විල රකින්නට බාරගත් කයිලී ගේ එක් වගකීමක් වන්නේ විල අයත් වනාන්තරයේ කඳු නගින්නන්ට මඟ පෙන්වන්නන් හා කඳවුරු ගසන්නන් දැනුම්වත් කිරීමය. බාහිරෙන් එන කිසිම දෙයක් විල් ජලයට ස්ඵර්ශ නොවීමට වගබලා ගැනීම ඇයගේ ප්‍රධාන වගකීම වෙයි. මන්දයත් මේ කියන ඇල්ගී වර්ගය බෝවී මාස ගණනක් යනතුරු සාමාන්‍ය ඇසට නොපෙනේ. එසේ නොපෙනී තිබී එක්වරම මතුව එයි. මාළු බාන උපකරණ, වතුර පුරවන බඳුන්, ඇඳුම් හා බෝට්ටු හරහා ඇල්ගී බෝවීමේ අවදානම වැඩිබැවින් ඒ ගැන නිතර ඇස ගසා සිටීම කළයුතුවේ.
මෙනිසා නිල් විල රැකගැනීම ගැන ජනතාව දැනුම්වත් කිරීම ද මාර්ගෝපදේශ පැහැදිලි කිරීම ද සිය රාජකාරියේ සුවිශේෂ වගකීමක් බව කයිලී පවසයි.
” මේ වගේ පැහැදිලි ජලය දැක්කම වතුර බෝතලයක් පුරවාගන්න හිතෙන එක සාමාන්‍ය දෙයක්. මේ ජලය රැක ගන්නනම් ජනතාව හෝ ඔවුන් සතු දේ ජලය සමඟ ගැටෙන එක නතරකළ යුතුයි. ඒ ගැන ජනතාව දැනුවත් කිරීම කළයුතුමයි. ”
මිනිසුන්ගේ විනය
මෙරට නගරයෙන් බැහැරව වනගත ප්‍රදේශවල සංචාරයේ යෙදෙද්දී නිල්දියෙන් පිරි සුන්දර ඇළ දොළ ගංගා කෙතෙක් දක්නට ලැබුණ ද තැනින් තැන ඒවායේ ගිලී නාන හෝ ගල්මතට වී දෙකක් තොලේ ගාගන්නා උදවිය දැක්කේම නැතිතරම්ය. එලෙස ජනතාවට නිදහසේ ගිලී නාමින් සතුටුවීමට හැකි මිරිදයෙන් පිරි සුන්දර විල් වැව් හා ගංගා නැතුවා නොවේ. මේ රටේ මිනිසුන් නීතියට පරිසරයට ගරුකරමින් දකින දකින තැන නාන්නට සෙට්වෙනවා වෙනුවට ඒ වෙනුවෙන්ම ඇති තැන්වල පමණක් නාන්නට තෝරා ගැනිම එයට හේතුවයි.
ඇතැම් ගංගා හා වෙරළ අද්දර පළාත් පරිසර අධිකාරිය මගින් සවිකළ දැන්වීම් පුවරු වෙයි. ඒවායේ සඳහන් වන්නේ ඒ දින කීපයේ අදාළ ස්ථානයේ ජලයේ ස්වභාවයයි. ජලයේ අන්තර්ගත විෂ ද්‍රව්‍ය හෝ ලවණ ප්‍රතිශතය හෝ දියට බැස්සොත් සිදුවිය හැකි උපද්‍රව ගැන අනතුරු ඇඟවීම්ද වෙයි. එසේම ජලාශ්‍රය ආශ්රිත සත්ව හා මත්ස්‍ය ප්‍රජාව ගැනද වෙනත් ජලජ ජීවින් ගැනද දැනුම්වත් කර මසුන් බෑම තහනම්නම් ඒ කුමන ආකාරයේ මසුන්ද යන්නද සඳහන් වේ.
වරක් ජලාශයක් ආසන්නයේ සවිකළ දැන්විමක අප දුටුවේ දින හතරක් යනතුරු එම දියට නොබසින ලෙස කර ඇති දැනුම්දීමකි. හේතුව ලෙස සඳහන් වූයේ ඊට පෙර දියට බට කීප දෙනකුගේ පාද කැසීමට ලක්වීමය. ඒ ගැන පර්යේෂණ කර ඒ තත්ත්වය පාලනයවීමට ගතවන කාලය ගණනය කර දින කීපයක් එම දියට නොබසින ලෙස අවවාද කරමින් එම දැන්වීම සවි කර තිබිණ.

පාවහන් පිරිසිදු කර විය වනපෙත්
අපේ ඇතැමුන්ට ගසක් දුටුවහොත් එය ලී මඩුවකට ගෙනයනතුරු ඉවසිල්ලක් නැතිතරම්ය. තවත් කොටසකට විශාල ගසක් දක්නට ලැබුණොත් ඒ ගසේ අවාසනාවමය. එයට අත්වන ඉරණම කතා කර ඵලක් නැත. අසන්නට ලැබෙන වැඩි තරමක් ඇසෙන්නේ වනාන්තර හෙළිකිරීම් ගැනය. වන හෙළීම් ගැන කතා කරන්නන්ට පරිසරය සුරකින්න පෙළ ගැසෙන සමාජ ක්රියාකාරිකයන් හා රජයේ නිලධාරීන්ට විඳින්න වන ගැහැට ගැන කුමන කතාද?. ඔවුන් විඳි පීඩා ගැන අප කොතෙක් අසා ඇත්ද?.
නවසීලන්තයේ ඇතැම් වනාන්තරවලට ඇතුළුවීමට පෙර අප පැලැඳි පාවහන් පිරිසුදු කරගෙන යායුතුය. ඒ සඳහා දැනුවත් කෙරෙන පුවරු වනාන්තරයට ඇතුළුවන තැන සවිකර ඇත. වනාන්තරයේ ඇවිද යා හැකි මං පෙත් හා ඒ මං පෙත් ඔස්සේ ගියහොත් ගමනාන්තයට ළඟාවීමට ගතවන කාලය හා දුරද සිතියම් ගතකර එවා පුවරුවල සටහන් වෙයි. එපමණක් නොව වැසිකිළි ඇති ස්ථාන කඳවුරු ගැසීම් කළයුතු තැන් හා ජලය සපයාගත හැකි තැන්ද සහිත මාර්ගෝපදේශ ද සඳහන්ය.
වනාන්තරයට ඇතුළුවීම සෑම තැනකින්ම කළ නොහැකි අතර ඒ සඳහා නියමිත තැන් කීපයක් වෙයි. ඒ හැම තැනකම ඇතුළුවිමට පෙර පාවහන් සේදීම සඳහා කුඩා විවෘත ගොඩනැගිල්ලක බිම සවිකළ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන පාපිසි කීපයක් වෙයි. තැටිකීපයක් මෙන් ඇති මෙහි පා තබද්දී ඉස්සෙල්ලාම අපේ පාවහන් යට විෂබීජ නාශක අඩංගු දියරයකින් සේදෙයි. මීළඟ තැටියට පාතැබූ විට එහි ඇති පාපිස්සක් වැනි කැරකෙන බුරුසවකින් පාවහනේ යට අඩිය හොඳින් පිරිසුදු කෙරේ. මේ ස්ථානයෙන් ඇතුළුවීම අනිවාර්ය නොවූවත් කිසිම කෙනෙක් ඒ හරහා නොයා කැලේ ඇවිදීමට යෑමට උත්සාහ නොකරති. සති අන්ත දිනවල විශේෂයෙන්ම කඳු නැගීමට හා වන මං පෙත් ඔස්සේ ඇවිද යෑමට බොහෝ දෙනා එති. ඒ සැවොම තම වාරය එනතුරු පෙළ ගැසී බලා සිටින්නේ පාවහන් සෝදාගෙන වනාන්තරයට ඇතුළු වීමටය.
ඔවුන් එලෙස වනාන්තරවලට ඇතුළුවීමට පෙර පාවහන් සෝදාගෙන පිරිසුදුව එන්නැයි ඉල්ලා සිටින්නේ බාහිරින් එන විෂබීජ හා බැක්ටීරියා මගින් ශාක ප්‍රජාව විනාශ වීම වැළැක්වීමේ එක් ක්‍රියාමාර්ගයක් ලෙසය.
මනුකා මී පැණි
මනුකා හා කවුරි ශාක අද දැඩිව විනාශ වීමේ තර්ජනයට ලක්ව ඇති නිසා එම ශාක වැඩිපුර ඇති වනාන්තර රැක ගැනීමට බලධාරීහු මේ ආකාරයේ විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරති. මනුකා ගස් බහුල කැලෑ ප්‍රදේශ ආශ්‍රිතව මී පැණි නිෂ්පාදනය සිදුකෙරේ. මනුකා මී පැණි නිෂ්පාදනය මේ රටේ විශාල ආදායම් මාර්ගයකි. මනුකා ගසේ පිපෙන සුදු පැහැ කුඩා මලේ රොන්ගන්නා මි මැස්සන්ගෙන් හැදෙන මී පැණි අනෙකුත් මී පැණිවලට වඩා පැහැයෙන් ළා පැහැතිය. මනුකා හනී ලෙසින් නවසීලන්තයේ නිපදවන මී පැණිවලට ලෝක මී පැණි වෙළෙඳ පොළේ ඇත්තේ ඉහළ වටිනාකමකි.
වර්තමානයේ මනුකා ශාක වඳවීමේ තර්ජනයට ලක්ව ඇති නිසා මේ රට මනුකා වනාන්තර සුරැකීමට විශේෂ පියවර ගෙන ඇත්තේය.
එපමණක් නොවේ මනුකා මී පැණි රටට සුවිශේෂ නිසා මී පැණි ආශ්රිත කිසිම නිෂ්පාදනයක් රටට ගෙන ඒමද තහනම්ය. ඒ තහනම කෙතරම් දැඩිව ක්‍රියාත්මක වන්නේද යත් ගුවන් තොටුපොළ හා වරායන්හි මී පැණි අඩංගු නිෂ්පාදන රටට ගෙනඒම වැළැක්වීමට ඔවුහු දැඩි උත්සාහයක් දරති. වැරදීමකින් හෝ සඟවා ගෙන මී පැණි අඩංගු නිෂ්පාදනයක් රැගෙන පැමිණියහොත් විශාල දඩයකට යටත් වන්නට සිදුවේ. ප්‍රකාශ කර රැගෙන ආවොත් එය විනාශ කෙරේ. මේ අය තමන්ගේ සම්පත් සුරැකීමට දරණ උත්සාහය එලෙසය.
වනයට අධිපති “ ටානි මහුටා“
නවසීලන්තයේ උතුරු දූපතේ සංචාරය කළ අවස්ථාවක අපි මේ රටේ මිනිසුන් මෙන්ම බලධාරීන් ද පණ මෙන් සුරකින වෘක්ෂයක් දැක ගැනීමට ගියෙමු. ආදි වාසී මවුරි බසින් ‘ටානි මහුටා’ ලෙසින් හැඳින්වෙන මේ යෝධ ගස සැබැවින්ම වෘක්ෂ රාජයෙකි. හොඳින් වැඩුණු මිනිසුන් හතර පස් දෙනකුටවත් දෑතින් වටකළ නොහැකි තරමේ වටප්‍රමාණයක කඳකින් යුතුය. කඳ වටප්රමාණය මීටර 4.6 කින්ද උස මීටර් 52ක් ද වේ. වසර 1200 සිට 2000 දක්වා පැරැණි ශාකයකි. මේ රටේ පැරැණිතම කවුරි ශාකය වන එය හැඳින්වෙන්නේ ‘වනාන්තරයේ අධිපතියා’ ලෙසිනි.

නවසීලන්තය පුරා දැඩි ලෙස ආරක්ෂා කරන ශාක විශේෂයක් වන කවුරි ශාක වසර 1000 කට වැඩි ආයු කාලයකින් යුතුබව කියති. කවුරි ලෝකයේ වසර මිලියන ගණනකට පෙර සිටම පවතින ශාක විශේෂයක් ලෙස ද සඳහන්ය. එසේම මේ ශාකවල කඳ වට විශාලත්වය අදහාගත නොහැකි තරම්ය. අති විශාල වටප්රමාණවලින් යුතු කවුරි කඳන් ප්‍රදර්ශනය කෙරෙන කෞතුකාගාරවලදී එම කඳන්වල තරම දැක ගත හැකිය.
රටේ උතුරු දූපතේ උතුරු කොනේ ඇති වනාන්තරවල කවුරි ශාක බහුලය. කවුරි වනාන්තර මේ රටට ආභරණයක් ලෙස සැලකේය. යුරෝපා ජාතිකයන් නවසීලන්තය ආක්‍රමණය කිරීමට පෙර හෙක්ටයාර් මිලියනයකටත් වැඩි ප්‍රමාණයක් වූ කවුරි වනාන්තර විසිවැනි ශත වර්ෂය වෙද්දී හෙක්ටයාර් 7000 දක්වා අඩුවි ඇති බවට ගණනය කර තිබේ.

යකඩ මෙන් ශක්තිමත් කඳක් ඇති කවුරි ගස් අතීතයේ සිටම නවසීලන්තයේ කුදුමහත් සෑම කටයුත්තකදීම භාවිත කළේය. ඒනිසාම දැන් ගස් ප්‍රමාණයෙන් අඩුවීම මෙන්ම මෑතකදී කවුරි ශාකවල විනාශකාරී පුස් විශේෂයක් හටගැනීම නිසා කවුරි රැක ගැනීමේ දැවැන්ත ව්‍යාපෘතියක් මේ රටේ දැන් ක්‍රියාත්මකය.
කවුරි වනාන්තරයන්ට පිවිසීමේ සෑම දොරටුවකම පාහේ පාවහන් පිරිසුදු කරන ස්ථාන පිහිටුවා තිබීම ඉන් ප්‍රධානය. වනාන්තරයට පිවිසෙන්නන්ට අතුපාරවල මිස ඉන් එහා නොයන ලෙසට නිතර දැනුම්වත් කෙරේ. මේ කීම නොඅසා හිතුමතේ කැලේ කරක් ගැසීමට යන කෙනෙක් නැත.

එසේම කවුරි ශාක සුරැකීම සඳහා මවුරි සම්භවයක් ඇති ජනතාව වැඩිවශයෙන් අවධානයක් දක්වති. වනාන්තර ආශ්රිත නගරවල ජීවත්වන අය නිතර වනාන්තරවලට පිවිස පුස් සෑදීමේ තර්ජනයට ලක්ව ඇති ශාක පිළිබඳ විමසිල්ලෙන් සිට අදාළ බලධාරීන් දැනුම්වත් කිරීම කරති. නිල් විල රැක ගැනීමට කාන්තාවක් යෙදවූවාක් මෙන් මේ වනාන්තර පිළිබඳ නිතර ජනතාව දැනුම්වත් කිරීම සිදුකෙරේ.
වනාන්තරවලට වැදී හිතේ හැටියට කැලෑ කපන අන්දම දකින්නට තබා අසන්නටවත් නැතිතරම්ය. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ කවුරි ගස්වල හටගන්නා මාරාන්තික පුස් විශේෂය විනාශ කිරීමට සටන් කරන පර්යේෂණ පවත්වන විද්‍යාඥයන් හා බලධාරීන් මවුරි ජනතාවගේ වනාන්තර සුරැකීමේ පැරැණි ක්‍රමවේදයනට අවනත වෙමින් ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමය.







