මිරිහාන ප්‍රදේශයේ නිවසක තිබී ලියාපදිංචි නොකළ මෝටර් රථයක් සොයා ගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්ත ඇපමත නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම සලකා බැලීමට නොවැම්බර් 19 දා සිදුකිරීමට අභියාචනාධිකරණය අද (11) දින නියම කළේය.
පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ වී.ශෂී මහේන්ද්‍රන් යන විනිසුරු මණ්ඩලය අභියස කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේය. පෙත්සම සම්බන්ධව කරුණු දක්වන ලෙස දන්වා පොලිසිපතිවරයා ඇතුළු වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට පෙත්සම්කාර පාර්ශවයට විනිසුරු මණ්ඩලය දැනුම් දුන්නේය.
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ බිරිඳ රශී පබා රත්වත්තේට අයත් බව කියන මිරිහාන ඇඹුල්දෙණිය ශාලාව පාරේ තෙමහල් නිවසක තිබී අංක තහඩු නොමැති ප්‍රශ්නගත ටොයොටා ලෙක්සස් වර්ගයේ සුඛෝපභෝගි මෝටර් රථය මිරිහාන පොලිසිය මගින් අත් අඩංගුවට ගන්නේ පසුගිය 26 වැනිදාය. වාහනය අධිකරණ නියෝගයක් මත අත් අඩංගුවට ගෙන රස පරික්ෂකවෙත යොමු කර වාර්තාවක් ලබා ගත් පසු එය නීති විරෝධීව එකලස් කළ වාහනයක් බව හෙළි විය. තවද එම වාහනය ලොහාන් රත්වත්ත විසින් භාවිතා කළ වාහනක් බවත් ඔහු ඒ සඳහා යෙදාගෙන තිබුණේ සිය පළමු බිරියගේ වාහනයේ අංකය බවත් විමර්ශන කණ්ඩායම් විසින් හෙළි කරගත්තේය. අනතුරුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඔක්තෝබර් 30 වනදා ලොහාන් රත්වත්තේ කටුගස්තොටදී මිරිහාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ලබන 18 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කළේය.
අනතුරුව ලොහාන් රත්වත්තේගේ බිරිය වන ශෂි ප්‍රභා රත්වත්තේ වට්ස්ඇප් මාර්ගයෙන් ලද නොතීසියකට අනුව පසුගිය 4 වනදා නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි අතර එහිදී අත් අඩංගුවට ගත් ඇයත් අද 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු යළි 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.







