රෝගී කාන්තාවක් වෙනුවෙන් මුළු රාත්රියක් පුරා පැවති ශාන්තිකර්මයක දී රෑ එළිවන තුරු තැඹිලි ගෙඩි 21ක් සහ කහ දියර පෙවීම නිසා ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් එම කාන්තාව මිය යෑම නිසා ශාන්තිකර්මය සිදුකළ 25 හැවිරිදි කපුවා අත්අඩංගුවට ගෙන තිබේ.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
ලග්ගල දාස්ගිරිය ප්රදේශයේ නිවසක අසනීප තත්ත්වයෙන් පසුවන කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක් සුවපත් කිරීමට ශාන්තිකර්මයක් පවත්වා ඇත. පෙරේදා (16) සවස් කාලයේ සිට ඊයේ (17) උදෑසන තෙක් මෙම ශාන්තිකර්මය පවත්වා තිබේ.
මෙම ශාන්තිකර්මය සඳහා සහභාගී වූ එක් කාන්තාවක් ගල්කිරියාගම ප්රදේශයේ පදිංචි 48 හැවිරිදි තැනැත්තියකි. ශාන්තිකර්මය සිදුකළ තැනැත්තා විසින් මෙම රෝගී කාන්තාවන් දෙදෙනාට සහ පුද්ගලයාට වරින්වර එක් අයෙකුට තැඹිලි ගෙඩි 21ක් බැගින් පෙවීමට සිදුකර තිබේ.
එසේ සිදුකරන අතරතුරදී ගල්කිරියාගම ප්රදේශයේ පදිංචි කාන්තාවට හදිසි අසනීප තත්ත්වයකට පත්ව ඇත. මේ අවස්ථාවේ දී කපුවා නැවත වරක් ඇයට කහ දියර පෙවීමට සලස්වා තිබේ.
ඉන්පසුව රෝගී තත්ත්වය උස්සන්න වීම නිසා ඇයව දාස්ගිරිය රෝහල වෙත ඇතුළත් කර ඇත. අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා දඹුල්ල රෝහලට මාරු කර යවා තිබේ. දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙම කාන්තාව මිය ගොස් ඇත.
මෘතදේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද දින දඹුල්ල රෝහලේ දී සිදුකිරීමටනියමිතව තිබේ. ශාන්තිකර්මය සිදුකළ වයස අවුරුදු 25ක් වූ පුද්ගලයා ගල්කිරියාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධව ලග්ගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







