අසේල කුරුළුංවශ –
රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකරගේ ධුර කාලය මෙම මස 22 දායින් නිමාවට පත්වන අතර එම ධුරයේ වැඩ බැලීම සඳහා ඔහුම පත් කරන ලෙස ජනපතිවරයාට හා බුද්ධශාසන ඇමැතිවරයාට දැනුම් දෙන ලෙස ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ (17) මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ඉල්ලීමක් කළේය.
බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකරට ඇති කැමැත්ත දක්වමින් ප්‍රදේශවාසීන් 10000 කගේ අත්සන් සහිත ලිපියක් ද මහනායක ස්වාමින්ද්‍රයන් වහවන්සේ දෙනමට පිළිගන්වමින් ඔවුන් ඉල්ලා සිටියේ දේවාලයේ වැඩ බැලීමට වෙනත් අයෙකු පත් කළ හොත් ගැටලු රැසක් පැන නැගිය හැකි බවයි.
මෙහි දී මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම පැවසුවේ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය පුරප්පාඩු වූ පසු වැඩ බැලීම සඳහා කෙනෙකු පත් කිරීම තමන් වහන්සේ දෙනමගේ කැමැත්ත මත සිදුකළ යුතු වුවත් අනෙකුත් දේවාල සඳහා එය බල නොපැවැත්වෙන බවයි.
එසේ වුවත් වත්මන් බස්නායක නිලමේවරයා පසුගිය කාලය තුළ දේවාලයටත් සමාජයටත් විශාල සේවාවක් සිදුකළ බව කවුරුත් පිළිගන්නේ යැයි මහනාහිමිවරු දෙනම පැවසූහ.
වත්මන් බස්නායක නිලමේවරයාගේ ධුර කාලය නිමා වීමෙන් පසු වෙනත් පුද්ගලයෙකු වැඩ බැලීම සඳහා පත් නොකර ඩිෂාන් ගුණසේකරම පත් කරන ලෙස ජනපතිවරයාගෙන් හා බුද්ධශාසන ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් මෙහි දී අදහස් දැක්වූ කතරගම එකමුතු වෙළෙඳ සංගමයේ නියෝජතවරයෙක් පැවසුවේය.
ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරයේ වැඩ බැලීම සඳහා නිලංග දෑල පත් කිරීම සුදුසු බවට මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැතිවරයාට හා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කළ ලිපිය මගින් දේවාලවල බස්නායක නිලමේ ධුරය පුරප්පාඩු වන අවස්ථාවල ධුරයේ සිටින නිලමේවරයාම වැඩ බැලීමට පත් කිරීම යෝග්‍ය බවට යෝජනා කර තිබේ.
මෙම අවස්ථාවට කතරගම ඒකාබද්ධ වෙළෙඳ සංගමයේ කැඳවුම්කරු ආර්.නිහාල්, එස්.බී කරවිට ඇතුළු පිරිසක් සහභාගි වූහ.







