අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව භාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ‘නඳුන් චින්තක වික්‍රමරත්න’ හෙවත් ‘හරක් කටා’ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමින් රැඳවීමේ නියෝග යටතේ සිටියදී සිය ජීවිතාරක්ෂාව සම්බන්ධයෙන් ගත හැකි සියලු පියවර ගන්නා ලෙස පොලීසියට නියෝග කරන්නැයි අද (29) අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මීට පෙර ඔහුගේ පියා ද අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ රැඳවුම් භාරයේ සිටියදී තම පුතුගේ ජීවිතය ආරක්ෂා කිරීමට සියලු පියවර ගන්නා ලෙසය.
නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා අද ඉදිරිපත් කළ පෙත්සමෙන් තවදුරටත් ඉල්ලා ඇත්තේ තමන් යම්කිසි නඩුවක චූදිතයෙකු වන්නේ නම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කරන ලෙසයි.
නාමල් කරුණාරත්න හා උදාර මුහන්දිරම් යන නීතිඥයින් මාර්ගයෙන් ඔහු මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
මෙම සැකකරු කුඩු සලිඳු හෙවත් සලිඳු මල්ෂික ගුණරත්න නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඇතුළු තවත් සත් දෙනෙකු සමඟ පසුගියදා මැඩගස්කරයේදී අත්අඩංගුවට පත් වූ අතර ඊට පසු ඔවුන් දෙදෙනා මෙරටට රැගෙන ඒමට පියවර ගන්නා ලදී.







