රඹුක්කන දී පොලිසිය විසින් ඝාතනය කළ 42 හැවිරිදි චමින්ද ලක්ෂාන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පවුලේ සුසාන භූමියේ දී අද (23) සිදු කිරීමට නියමිතව තිබේ.
චමින්ද ලක්ෂාන්ගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව පෙරේදා පස්වරුවේ ඥාතීන් වෙත භාර දී තිබිණි.
දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් පෙරේදා සිට ඔහු ජීවත්ව සිටි නිවසට පැමිණෙමින් සිටිති. අවසන් කටයුතු සිදුකෙරෙන අද ප්‍රදේශයේ දැඩි ආරක්ෂක විධි විධාන සලසා ඇතැයි වාර්තා වේ.
මේ අතර මරණ ගෙදර වැඩ කටයුතු කිරීමට 20ක පමණ හමුදා කණ්ඩායමක් අනාරාධිතව පැමිණි බවත් එම කණ්ඩායමේ පැමිණීම තමන් විසින් ප්‍රතික්ෂේප කළ බවත් මිය ගිය චමින්ද ලක්ෂාන්ගේ බිරිය අධිකරණයේ දී ප්‍රකාශ කළාය.
The final rites of Chaminda Lakshan, who was shot dead by police in Rambukkana will be held tomorrow.#SriLanka #Rambukkana pic.twitter.com/bha39NZADB
— DailyMirror (@Dailymirror_SL) April 22, 2022
රඹුක්කන සිද්ධියට අදාල නඩුව ඊයේ (22) තෙවැනි දිනටත් කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී අදාල වෙඩි තැබීමට නියෝග කර ඇත්තේ කෑගල්ල කොට්ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී.කීර්තිරත්න බව අධිකරණය හමුවේ අනාවරණ විය.
එහිදී සිදුවීම් සම්බන්ධව විමර්ශනය කිරීමට පොලිස්පතිවරයා විසින් පත්කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දේවත්ත ගේ මූලිකත්වයෙන් යුතු කණ්ඩායම වැඩිදුර විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.
සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන්ගෙන් මෙන්ම සිවිල් වැසියන් 51 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි විමර්ශන කණ්ඩායම පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.
නොසන්සුන්තාවය පාලනය කිරීම සඳහා පොලිස් කැරළි මර්ධන කණ්ඩායම් පාවිච්චි කර ඇත්තේ කෑගල්ල මූලස්ථාන පොලිසිය විසින් නිකුත් කළ ගිනි අවි පමණක් බවද ඔවුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
ඒ අනුව ගැටුම්කාරි තතත්ත්වය පාලනය කිරීමට පොලිසිය ටී 56 ගිනි අවි 04ක් සහ උණ්ඩ 35ක් භාවිතා කර තිබේ. ඒවා නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇත.







