රනිල් වික්‍රමසිංහ සම්බන්ධව 26 වැනිදාට සිදුවන්නට ඇත්තේ සිදුවීම් දෙකක් පමණක් බවත් ඇප ලබා දී ඉදිරියට නීතිමය කටයුත්ත සිදුකරන්නේ ද, නොඑසේ නම් පොදු දේපොළ පනත යටතේ ගොනු කර ඇති නඩුවක් බැවින් ඇප නොදී රඳවා තබා ගනිමින් අදාළ විමර්ශන සිදුකරන්නේ ද යන්න අධිකරණය එදිනට තිරණය කරනු ඇති බවත් කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත පැවසුවේය.
ඔහු වැඩිදුරටත් දන්වා සිටියේ නීතිය ක්‍රියාත්මක වන පාලනයක් තිබෙන බැවින් තමන්ගේ කටින් පිටකරන්නේ මොනවාද යන්න මැනවින් තේරුම් ගෙන වගකිව යුතු පුරවැසියන් ලෙස කටයුතු කරන ලෙසය.
මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත විසින් රචිත පලුඅරටු හා ගල්මුලාදෑනි වතගොත ග්රන්ථ ජනගත කිරීම නිමිත්තෙන් අද (24) මහනුවර කරළිය රංග ශාලාවේ දී පැවැති උත්සවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ලාල්කාන්ත ඇමැතිවරයා කීවේ මෙරට ප්‍රභූ පැළැන්තිය සම්බන්ධයෙන් නීතිය නිදහසේ ක්‍රියාත්මක නොවීම නිසාම රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට පත්වීම ඇතැමුන්ට මැජික් එකක් වී ඇති බවය.
“රනිල් අත්අඩංගුවට ගැනීම මැජික් වෙලා තිබෙන්නෙම මේ රටේ එහෙම දේවල් මීට පෙර නොවුණු නිසයි. ඉදිරියේ දී තව තව අයට නීතිය ක්‍රියාත්මක වෙත් දී මේ මැජික් එක ඉවර වෙලා ජනතාවම කියයි නීතිය කාටත් එකයි… මේක කතා කරන්න ඕන මාතෘකාවක් නෙවෙයි කියලා. “
“මීට පෙර අපේ රටේ හිටපු ජනපතිවරයෙක් හෝ මේ මට්ටමේ ප්‍රභූ පැළැන්තිය සම්බන්ධයෙන් අධිකරණය නිදහසේ කටයුතු කරලා නැහැ. ඒ නිසා රනිල් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ යම් වැදගත්කමක් තිබෙනවා”
“පොදු දේපොළ අවභාවිත කළොත් තරාතිරම නොබලා ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. නීතිය ක්‍රියාත්මක කරන්නේ ආණ්ඩුව නෙවෙයි. ආණ්ඩුව කරන්නේ නීති සම්පාදනය කිරීමයි. නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ අදාළ ආයතන හා ඒ පිළිබඳ වගකිව යුතු අය යි.”
“මීට පෙර ප්‍රභූ පැළැන්තියට නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේ දී ඒ අයට බාධා තිබුණා. සාමාන්‍ය ජනතාවට මිස ලොකු ලොක්කන්ට නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් සාමාන්‍ය ජනතාවට වගේම ලොකු ලොක්කන්ටත් එක ලෙස නීතිය ක්‍රියාත්මකයි.”
“ හිටපු ජනපති රනිල් මේ දක්වා වැරදිකාරයෙක් නෙවෙයි. එතුමා සම්බන්ධයෙන් නඩු කටයුත්තක් දැන් ආරම්භ වෙලා තිබෙනවා. දැන් මීළඟ ප්රශ්නය 26 වැනිදාට මොකක් වෙයි ද කියලයි. වෙන්න තිබෙන්නේ සිදුවීම් දෙකයි. එක්කෝ ඇප දීලා නීතිමය කටයුත්ත ඉදිරියට යයි. නැත්නම් පොදු දේපොළ පනත යටතේ නිසා ඇප නොදී රඳවා තබා ගනිමින් අදාළ කටයුත්ත විභාග වෙයි. මේක අධිකරණය එදාට තීරණය කරයි. “
“නඩු තීන්දුව ලියලා තියෙන්නේ පැලවත්ත කාර්යාලයේ දී කියලා ඇතමුන් කියන්න උත්සහ කරනවා. මේ සම්බන්ධයෙන් කවුරු හෝ පැමිණිලි කළොත් ඒ ප්‍රකාශය කළ කෙනා අධිකරණයට අපහාස කළා කියලා නීතිය ක්‍රියාත්මක විය හැකියි.”
“දැන් නීතිය ක්‍රියාත්මක වන පාලනයක් තිබෙන නිසා තමන්ගේ කටින් පිටකරන්නේ මොනවාද කියලා මැනවින් තේරුම් ගෙන වගකිව යුතු පුරවැසියන් ලෙස කටයුතු කරන්න කියන ඉල්ලීම ඒ අයගෙන් කරනවා. වගකීමක් නැති පුරවැසියෝ මේවා කියන්නේ දේශපාලන වුවමනාවට කියලා අපි දන්නවා. නීතියේ ආධිපත්‍ය තුළ සිදු කෙරෙන ක්‍රියාවන්ට අපි මැදිහත් වෙන්නේ නැහැ. ඒක ක්‍රියාත්මක වෙන්න තිබෙන බාධා අපි ඉවත්කර තිබෙනවා.”







