එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් ගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින නිල සංචාරයක් සඳහා අද (10) දිවයිනෙන් පිටත්ව ගියේය.
මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඩුබායි හි පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතය.
ලෝක රාජ්‍ය නායක සමුළුවෙහි ප්‍රධාන අරමුණ වනුයේ අනාගතවාදී ප්‍රවේශය, තාක්ෂණික නවෝත්පාදනය ආදී මාතෘකා කෙරෙහි අවධානය යොමු කරමින් ගෝලීය සංවාදයක් ගොඩනැඟීම සඳහා රාජ්‍ය නායකයින් එක් සාකච්ඡා මණ්ඩපයකට එක් රැස් කිරීමයි. මෙම සමුළුවේදී මානව වර්ගයා දැනට මුහුණ දෙන ගැටලු, අනාගත ප්රවණතා සහ නව අවස්ථා පිළිබඳ රාජ්‍යයන් අතර දැනුම හුවමාරු කර ගැනේ. මෙයට රටවල් 150ක් නියෝජනය කරමින් 4000කට අධික පිරිසක් සහභාගී වෙති.
ලෝක රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගි වන රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් සහ ආණ්ඩුවල ප්‍රධානීන් සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.
ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් අතර ද ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර එමඟින් දෙරට අතර ක්ෂේත්‍ර ගණනාවක සහයෝගීතාව වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරයි.
මෙම තෙදින නිල සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති සහ අගමැති ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් හමුවීමටද සැලසුම් කර ඇත.
ශ්‍රී ලංකාවට ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා තොරතුරු තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය, බලශක්ති, සංචාරක, මූල්‍ය සහ ජනමාධ්‍ය අංශවල ප්රමුඛ පෙළේ ගෝලීය සමාගම්වල විධායක නිලධාරීන් ගණනාවක් සමඟද ජනාධිපති අනුර කුමාර දිසානායක සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද මෙම සංචාරයට එක්ව සිටියි.







