රටට මේ වනවිට රටට ඇති විශාලම අපලය බැසිල් රාජපක්ෂ බව ජනතාවම පවසන මේ චෝදනාවලට ලක් නොවී හය මසක කාලයක් හෝ රාජ්‍ය පාලන කටයුතුවලින් ඉවත් වී සිටීම සුදුසු බවත් මේ රජය බලයට පත් කිරීම වෙනුවෙන් පුරෝගාමී දේශපාලනයක් කළ අභයාරාමාධිපති, කොළඹ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.
උන්වහන්සේ කියන්නේ මේ කියන දේ නොඅසන ආණ්ඩුව නිසා ආණ්ඩුව පත් කරන අයට මෙන්ම ආණ්ඩුවේ ඉන්න අයටත් හෙණම වැදියන් යැයි මිනිසුන් පවසන බවය. එවැනි ආණ්ඩුවක් හදා ගන්නට බැරිනම් පළවා හරින්නට තමන් නායකත්වය දීමට සූදානම් බවත් ඒ සඳහා මේ රජය පත් කිරීමට එක් වූ හැට නව ලක්ෂයට ආරාධනා කරන බවත් උන්වහන්සේ කියති.
ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ආනන්ද හිමියන් කීවේ මෙසේය.
“වර්තමාන රජය බලයට පත් කරනකොට මේ රටේ ජනතාවට තිබිච්චි සතුට අසීමිතයි. සතුට කොච්චර ද කියනවා නම් පේදුරු තුඩුවෙ සිට දෙවුන්දර තුඩුව දක්වා ජනතාව මහපාරෙ රබන් ගැහුවා. කිරිබත් උයමින් අසීමිත සතුටක් පෙන්නුවා.“
“කණගාටුයි කියන්න. ඒ සතුට අද ඉවරයි. මේ ආණඩුව ගෙනෙන්න උදව් කළ එවුන්ටත් ගහපිය හෙණ ගහපිය කියලා මිනිස්සු කියනවා. ආණ්ඩුවෙ ඉන්න උන්ටත් ගහපිය හෙණ කියනවා. අද අපට උදේ ඉඳන් අහන්න තියෙන්නෙ මේ වචන.“
“කිසිම කාලෙක නැති විදිහෙ ව්‍යසනයකට රට පත් වෙලා. තියන මිනිහටවත් කන්න විදිහක් නෑ. නැති මිනිහට කොහොමත් නෑ.“
“අද මට අකමැත්තෙන් හරි කියන්න වෙලා තියනවා… බැසිල් මහත්තයා මුදල් ඇමති වුනාම තියන දේ නැතිවෙලා කියලා මිනිස්සු කියනවා. අපි දන්නෙ නෑ…. ඇත්ත ද බොරුද කියලා.“
“එහෙමනම් බැසිල් මහත්තයො…. ඔබතුමා මේ මිනිස්සුන්ගෙ චෝදනාවලින් නිදහස් වෙන්න…. පුලුවන්කමක් තියනවා නම් හය මාසයක්වත් රාජ්‍ය පාලනයෙන් ඈත් වෙලා ඉන්න මේ මිනිස්සු කියන එක ඇත්තනම්…. අද ඔබතුමා තමයි ලොකුම අපලය කියලා මිනිස්සු කියන්නෙ… ඔබතුමාගේ සහෝදරයාගෙ සෞභාග්‍යයෙ දැක්ම සම්පූර්ණ කරන්න සහයෝගය දෙන්න…“
“ අද අපි කියනවා මේ ආණ්ඩුව පත් කරන්න මැදිහත්වුණු හැට නවලක්ෂයම අපි එක්ක එකතු වෙන්න. අපි ලෑස්තියි ආණ්ඩුව හදන්න හෝ ආණ්ඩුව ගෙදර යවන්න.. අඩුපාඩු නිවැරදි කරගන්න බැරිනම් ආණ්ඩුව ගෙදර යවන්න පැවිදි හඬ ලෑස්තියි.“







