ලලිත් චාමින්ද –
ශ්‍රි ලංකාවට ආනයනය කිරීමට අවසර ලබා දී ඇති වාහන දින 90ක් ඇතුළත ලියාපදිංචි කළ යුතු බැව් මුදල් ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය පවසයි.
එසේම, ඕනෑම ආනයනකරුවෙකු විසින් ආනයනය කරන ලබන මුළු වාහන සංඛ්‍යාවෙන් සියයට 25%ක් මාස හයක් ඇතුළත ලියාපදිංචි නොකළහොත්, වාහන ආනයන බලපත්‍රය අත්හිටුවන බවද මුදල් අමාත්‍යංශය පෙන්වාදෙයි.
එමෙන්ම නිසි කාලය තුළ ලියාපදිංචි නොකළ වාහන සඳහා 3% සිට 45%ක උපරිමයක් දක්වා දඩ මුදලකට ද යටත්වනු ඇති බවත් . රටේ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා වාහන ආනයනය කිරීමට අවසර දී ඇත්තේ කොන්දේසි යටතේ බවද මුදල් අමාත්‍යංශය පවසයි.
විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම, අතිරික්ත වාහන සංඛ්‍යාවක් ආනයනය කිරීම අධෛර්යමත් කිරීම සහ අනවශ්‍ය මෝටර් රථ තොග රැස්කිරීම වළක්වා ගැනීම යන කරුණු සැලකිල්ලට ගනිමින් වාහන ආනයනය සම්බන්ධයෙන් මෙම කොන්දේසි පනවා ඇති බවද මුදල් අමාත්‍යංශය පෙන්වාදෙයි.
එසේම පුද්ගලික මට්ටමින් වාහන ආනයනය කිරීමට අවශ්‍ය නම් එක් වාහනයක් පමණක් ආනයනය කළ හැකි බවත්, ව්‍යාපාරයකට එවැනි කොන්දේසියක් නොමැති බවත් මුදල් අමාත්‍යංශය පවසයි.







