රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් නිකුත් කර ඇති නවතම චක්‍රලේඛය අනුව රජයේ සේවකයින්ට අඳින්නට වන්නේ ටයි එකක් හා කමිසයක් පමණක් බව සමඟි ජනබලවේග මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න අද (1) පාර්ලිමේන්තුව අමතමින් පැවසුවාය.
ගුරුවරියන්ට සාරි ඇන්දවීමේ අරමුණින් යුතුව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්ගේ අත්සනින් නිකුත් කර ඇති මෙම චක්‍රලේඛයේ තිබෙන්නේ “රාජ්‍ය නිළධාරීන් කමිසයෙන් හා ටයි එකෙන් සැරසෙන්න“ යනුවෙන් පමණක් බවත් එහි කාන්තාවන් සම්බන්ධයෙන් වදනක්වත් නොමැති බවත් මන්ත්‍රීවරිය සඳහන් කළාය.
ලේකම්වරයා සඳහන් කර ඇත්තේ 1989/02/1 දින නිකුත් වූ 88/89 චක්‍රලේඛය ක්‍රියාත්මක කරනවා යනුවෙන් පමණක් වන අතර එහි කාන්තාවන් ඇඳිය යුත්තේ කුමක්දැයි සඳහන් කර නොමැති බව ද අධ්‍යාපන ක්ෂේත්‍රයේ තිබෙන ලොකුම ගැටලුව රෙද්ද නොවන බව ද ඇය පැවසීය.
“මේ චක්‍රලේඛය නිකුත් කරලා තිබුණේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්මයා විසින්. ප්‍රේමදාස මහත්තයා බුත්තල කතරගම ගම් උදාවේ වැඩබිමක් බලන්න ගියාම එතෙන්ට බුලත් විට කාගෙන රබර් සෙරෙප්පු දාලා හරි පිළිවෙලක් නැති ඇඳුමකින් සැරසිලා නිලධාරියෙක් ඇවිත්. එයා ප්‍රේමදාස මහත්තයට වැඩබිමේ විස්තර සේරම කියලා. මේ හැමදේම අහගෙන ඉඳලා ප්‍රේමදාස මහ්තතයා කිව්වලු, ‘හොඳයි බාසුන්නැහේ හරිම සතුටුයි.. පස්සේ ඇවිත් මාව හම්බවෙන්න කියලා.. “
“එතකොට හිටපු කතානායක විජමු ලොකුබණ්ඩාර කියලා තියෙනවා ජනාධිපතිතුමා මේ තමයි ප්‍රාදේශීය ලේකම් කියලා. මෙතෙන්දී තමයි මේ චක්‍රලේඛය එන්නේ.. වාහනේට නැග්ග ගමන් ප්‍රේමදාස මහත්තයා කරලා තියෙන්නේ රාජ්‍ය නිළධාරීන් කමිසයයි ටයි එකයි අඳින්න කියලා. “
“සාමාන්‍යයෙන් කලිසම අඳින නිසා කලිසම ගැන කියන්න නැතුව ඇති. හැබැයි ජනාධිපතිවරයා කියපු විදිහටම චක්‍රලේඛය නිලධාරීන් විසින් ගහලා. කොහොම වුණත් මේක ඒ කාලේ පාර්ලිමේන්තුව ඇතුළේ විපක්ෂයේ විහිළුවට ලක් වෙලා තියෙනවා.. කලිසම නැතුව කමිසෙයි ටයි එකයි විතරක් ඇඳගෙන ආවාට කමක් නැද්ද කියලා. මටත් දැන් අහන්න වෙන්නේ රජයේ සේවයෙ සීයට 65ක් ඉන්න කාන්තාවන් ඇඳගෙන එන්නේ මොකක්ද කියලා..”