ශ්‍රියානි විජේසිංහ –
සෞඛ්‍ය අමාත්‍යංශයේ බළධාරීන්ගේ හිතුවක්කාර තීන්දු තීරණයට එරෙහිව ලබන සදුදා ( 25) දිවයින පුරා රෝහල්වල වෛද්‍යවරු වැඩ වර්ජනයක් ආරම්භ කිරිමට තීරණ කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
සදුදා පෙ.ව. 8.00 ආරම්බ කරන වැඩ වර්ජනය වැඩ වර්ජනයේ ඉදිරි තීරණයන් එදිනට රැස්වන සංගමයේ මධ්‍යම කාරක සභාව තීරණය කරන බව සංගමයේ මාධ්‍ය ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේය.
සෞඛ්‍ය පද්ධතියේ පවතින ගැටලු විසදිමට අවශ්‍ය තරම් කාලයක් හා අවස්ථාවක් ලබා දී තිබියදී නිවැරදි තීරණයන් ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ බලධාරීන්ගේ අදූරදර්ශි , අකාර්යක්ෂම ක්‍රියාකාරිත්වයට එරෙහිව මෙම තීරණය ගත් බව හෙතෙම පැවසුවේය.
- සංශෝධිත පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේ පුරප්පාඩු ලැයිස්තුව ස්ථාන මාරු මණ්ඩලයේ අනුමැතිය සහිතව ප්‍රකාශයට පත් කිරීම සහ ආවරණ ලිපියේ මාතෘකාව ‘පශ්චාත් සිමාවාසික ස්ථානගත කිරීම’ වශයෙන් නිවැරදි කිරීම.
- ස්ථානමාරු මණ්ඩලයේ එකඟතාවයකින් තොරව කප්පාදු කළ දුෂ්කර සේවා ස්ථාන ලැයිස්තුව ඉවත් කර, ඒ් වෙනුවට ස්ථානමාරු මණ්ඩල එකඟතාවය සහිත පෙර පැවති දුෂ්කර සේවා ස්ථාන ලැයිස්තුව පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් අනුයුක්ත කිරීමේ ලැයිස්තුවට එකතු කර එම වෛද්‍යවරුන්ට ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබාදිම.
- ශ්‍රේණි වෛද්‍ය නිලධාරින්ගේ 2025 වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුවෙන් අත්තනෝමතික සහ අනීතික ලෙස ඉවත් කරන ලද පුරප්පාඩු 78 නැවත එකතු කර එම ස්ථාන මාරු ලැයිස්තුව නැවත ප්‍රකාශයට පත් කිරීම.
- සෞඛ්‍ය අමාත්‍යවරයා ද ඇතුලු ඉහල නිලධාරින්ගේ උපදෙස් ඉවත දමමින් අත්තනෝමතික සහ අනිතික ලෙස කටයුතු කරමින් වෛද්‍ය ස්ථාන මාරු ක්‍රියාවලියේ සහ සෞඛ්‍ය පද්ධතියේ අර්බුදයක් නිර්මාණය කිරීමට හේතු වූ වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය සේවා – II සහ අධ්‍යක්ෂ, වෛද්‍ය සේවා යන නිළධාරින් සම්බන්ධයෙන් අපක්ෂපාති පරික්ෂණයක් සිදු කිරිම.
ආදී කරුණු මුල් කරගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්බ කරන බව සංගමය පවසා සිටියි.







