-
එක එක කතා අහන්නේ නැතිව වෙන්නේ මොකක්ද කියලා මාස 2ක් බලන් ඉන්න… එතකොට ඔබට අපි කරන්නේ හරි දේ කියන එක වැටහේවි… අධිකරණ ඇමති ජනතාවට පැහැදිලි කරයි….
යෝෂිත රාජපක්ෂ අත් අඩංගුවට ගැනීම සහ නඩු පැවරීම සම්බන්ධව සමාජයේ ඇති වී තිබෙන කථිකාවේ දී ඇතැම් මාධ්‍ය පල කරන දුර්මතවලට නොරැවටී තවත් මාස දෙකක් ඉවසිල්ලෙන් බලා සිටින ලෙසත් ජාතික ජන බලවේග ආණ්ඩුව යන්නේ පෙර ආණ්ඩු ගිය ගමනේ ද නැති ද යන්න එවිට ජනතාවටම සනාථ කර ගත හැකි බවත් අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර අද (27) මාධ්‍යයට ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් පැවසීය.
යෝෂිතට ඇප ලැබුනේ ඇප පනත අනුව බවත් චූදිතයෙකුට ඇප ලැබීම යනු ඔහු චෝදනාවලින් නිදහස් වීමක් නොවන බවත් පැහැදිලි කළ අධිකරණ ඇමතිවරයා පෙන්වා දුන්නේ මේ අත් අඩංගුවට ගැනීම සිද්ධ වන්නේ අවුරුදු අටක් තිස්සේ ඇසෙන මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධ නඩුවක සැකකරුවෙක් ලෙස යෝෂිත රාජපක්ෂ නම් කිරීමෙන් පසුව බවය.
කිසිම කෙනෙකුට ඇප නොදී බන්ධනාගාරගත කර තබාගෙන ඔහුට දේශපාලනිකව හිරිහැර කිරීම හෝ පළි ගැනීම වැනි හැසිරීම්වලට ආණ්ඩුව කිසිසේත් නොපෙළඹෙන බව ඇමතිවරයා පැවසුවේය.
“යම් පුද්ගලයෙක් වෙත අධි චෝදනා පත්‍රයක් මහාධිකරණය විසින් ඉදිරිපත් කරන්නට කලින් ඔහු සැකකරුවෙක් වශයෙන් ඔහුගෙන් කටඋත්තරයක් ගැනීම අත්‍යාවශ්‍ය කාරණාවක්. සියලුම කරුනු සලකා බලා නීතිපතිවරයා විසින් පොලිසියට උපදෙසක් දීලා තියනවා. මෙම තැනැත්තාව සැකකරුවෙක් වශයෙන් කට උත්තරයක් ලබා ගන්න අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා. එය සාමාන්‍ය ක්‍රියා පටිපාටිය.
මේ වගේ අවස්ථාවක ඇප ලබා නොදෙන සේ ඉල්ලා සිටියත් ඇප පනතේ ප්‍රතිපාදන අනුව විමර්ශනවලට බාධා නොවේ නම් ඔහු රටින් පලා යන්නේ නැතිනම්, එළියට ආවොත් මහජ න පැමිණිල්ලක් හෝ වෙනස් අයහපතක් නොවේ නම් ඇප දීම තමයි සාමාන්‍ය ස්වභාවය.
සිදුවී ඇත්තේ ඇප ලබාදීම පමණයි. දැන් ඇතැම් මාධ්‍ය නීතපතිවරයා පොලිස් අමාත්‍යවරයා සම්බන්ධව සැක පහළ කරනවා. එය වැරදියි. යෝෂිත සම්බන්ධ මුදල් විශුද්ධිකරණ නඩුව දිගටම පවතිනවා. ඔහුට අධිකරණයෙන් ඇප ලබා දී තිබෙනවා.
ඒ නිසා අපි සියලු දෙනාටම කියන්නේ මාධ්‍යවලට කලබල වෙන්න එපා. තව මාස දෙකක් හෝ තුනක් ඉවසන් ඉන්න. එතකොට තේරෙයි ජාතික ජන බලවේගය යන්නේ මොන පාරෙද කියලා.







