තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ –
කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් සියයට හතලිහක කොටස් නිව් ෆෝට්‍රස් එනර්ජි නැමැති ඇමෙරිකානු සමාගමකට ලබා දීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන ලෙස නීතිපතිවරයා අද (12) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ජාතික වැදගත්කමකින් යුතු කරුණක් සම්බන්ධයෙන් මෙම පෙත්සම් ගොනු කර තිබෙන බැවින් එම ඉල්ලීම කරණ බව නීතිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමීල් සදහන් කළාය.
බුවනෙක අලුවිහාරේ, එච්. එම් .ඩී. නවාස් මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවන ලදි.
අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් සහ ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ හිමියන්, සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර , වසන්ත සමරසිංහ සහ ලංකා විදුලි සේවකයන්ගේ සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබේ.
මෙම පෙත්සම් කැඳවූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමීල් සඳහන් කළේ නීතිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය වෙනුවෙන් පෙත්සම්වලට එරෙහිව සීමිත විරෝධතා ගොනු කිරීමට අපේක්ෂා කරන බවය.
එසේම ජාතික වැදගත්කමකින් යුතු කරුණු විමසීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132(3)ii වගන්තියේ දක්වා ඇති විධි විධි විධාන අනුව සාමාජිකයන් පස් දෙනකු හෝ ඊට වැඩි පිරිසකින් සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස ද ඇය ඉල්ලා සිටියාය.
සුදුසු තීරණයක් ගැනීම සඳහා එම ඉල්ලීම අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා වෙත යොමු කරන බව විනිසුරු මඩුල්ලේ සභාපති බුවනෙක අලුවිහාරේ සඳහන් කළේය.







