යුක්තිය මෙහෙයුමට අදාලව සිදුකරන මෙහෙයුම්වලින් අත් අඩංගුවට නොගෙන සිටීම සඳහා උස් වැටකෙයියාව ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ එක හමාරක කප්පම් මුදලක් ගත් මහබාගේ පොලිිසියේ සැරයන්වරයෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා නිලධාරින් විසින් එම අල්ලස ලබා ගනිද්දී ඊයේ (02) හවස අත් අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගෙන ඇත්තේ නාගරික රථ වාහන කොට්ඨාසයට අනුයුක්ව මහබාගේ පොලිසියේ සේවය කරන පැට්රික් නැමැති සැරයන් කෙනෙකි.
සැරියන් විසින් අල්ලස ලබා ගෙන ඇත්තේ කලින් මත් ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව සිට මේ වනවිට එම ජාවාරම්වලින් ඉවත් වී රැකියාවක් කරමින් ජීවත් වන්නට උත්සාහ කරමින් සිටි තැනැත්තෙක් බව වාර්තා වේ.
එහෙත් යුක්තිය මෙහෙයුමට අදාලව මූලිකවම අත් අඩංගුවට ගනු ලබන පිරිස අතර කලින් හඳුනාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ද පුද්ගලයින් බැවින් අත් අඩංගුවට ගැනීම සඳහා මෙම පුද්ගලයාගේ නමද පොලිස් ස්ථානයට ලැබී ඇති බව දන්වා ඉහළ නිලධාරීන් සමග සාකච්ඡා කර අත් අඩංගුවට ගැනීම වළක්වාලීමටත්, නිරන්තරව ඔහුගේ නිවස වටලමින් සිදුකරන මත් ද්‍රව්‍ය පිළිබඳ පරීක්ෂාවන් නවත්වා දීම සඳහාත් සැරයන් විසින් මෙම අල්ලස අදාල පුද්ගලයාගෙන් ඉල්ලා ඇත.
වින්දිතයා සම්බන්ධව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කර තිබේ. අනතුරුව සැරයන්ගේ කැඳවීම මත වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේ ඇතුළුවීමේ දොරටුව ඉදිරිපිට දී පොලිස් සැරයන් විසින් අල්ලස ලබා ගන්නා විට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් ඔහුව අත් අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ යුක්තිය මෙහෙයුම සිදුවුන ක්‍රමවේදය තුළ මෙවැනි සිදුවීම් රැසක් වාර්තා වුන බවය. කලකට පෙර මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ ක්‍රියාවලීන්ගෙන් ඉවත් වී සිටි පුද්ගලයින් ගණනාවක් යළිත් නිශ්ඡිත ඇගයීමකින් තොරව අත් අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර නඩු පැවරීමට කටයුතු කිරීම හේතුවෙන් ඇති වූ අසාධාරණයත්, නඩු වලින් බේරා ගැනීම සඳහා අල්ලස් ලබා ගැනීමත් සම්බන්ධව මේ අකටයුතු සිදු වී ඇති බවය.
පොලිස් කොමිෂන් සභාව වෙත එවැනි පැමිණිලි ගණනාවක් ලැබී ඇති බව පොලිස් කොමිෂන් සභාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.







