සූරියවැව නුවන් ජයසේකර –
යාල ජාතික වනෝද්‍යානයට ඇතුළු වී වන සතුන්ට බාධා වන අයුරින් ජීෆ් රථ ධාවනය කිරීම හා වනෝද්‍යානයේ නීති රීති උල්ලංඝණය කරමින් කටයුතු කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි ජීෆ් රථ රියදුරන් 09කු රුපියල් ලක්ෂ 05 බැගින් වු ශරීර ඇප 09ක් මත නිදහස් කරන ලෙස තිස්සමහාරාම මහේස්ත්‍රාත් සමීර තුෂාර මහතා අද (26) නියෝග කළේය.
මෙලෙස ඇප මත නිදහස් කෙරුනේ පසුගිය 23 වන දින යාල ජාතික වනෝද්‍යානය නැරඹීමට ගොස් එහි නීති නීරි උල්ලංඝණය කරමින් කටයුතු කෙරුණු කෝටිපති ඕෆ් රෝඩ් ජිෆ් රථ හිමියන් 09 දෙනෙකි.
පසුගිය 23 වන දින මෙලෙස 50 දෙනෙක් පමණ පිරිසක් ඔවුන්ට අයත් ඕෆ් රෝඩ් ජිෆ් රථ වලින් යාල ජාතික වනෝද්‍යානයට ඇතුළු වී තිබේ. එහිදී පැමිණි පිරිස වැඩි නිසා ඔවුන්ට මග පෙන්වීමට යාල ජාතික වනෝද්‍යානයේ බළධාරීන් විසින් සංචාරක මගපෙන්වන්නන් 07 දෙනෙකුද ලබා දි තිබු අතර මෙම ඕෆ් රෝඩ් ජිෆ් රථ හිමියන් ඔවුන්ගේ පාලනයෙන්ද මිදී යාල ජාතික වනෝද්‍යානයේ වන සතුන්ට බාධා වන අයුරුන් මහා ශබ්ද නගමින් වාහන ධාවනය කර තිබුනේ ජාතික වනෝද්‍යානයේ නීති රීති සියල්ල උල්ලංගණය කරමිනි.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි විමර්ශන කටයුතු සිදුකෙරුණු අතර සිද්ධිය වු අවස්ථාවේ සංචාරක මග පෙන්වන්නන් ලෙස කටයුතු කෙරුණු 07 දෙනෙකුද තාවකාලිකව වැඩ තහනමට ලක් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති වරයාද අදාල අංශ වෙත අපදෙස් ලබා දී ඇත.
23 වන දින සිදු වු මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවත්, සිද්ධියට සම්බන්ධ අනෙකුත් සැකකාර ජිෆ් රථ හිමියන්ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට අවශ්‍ය පරික්ෂණ ක්‍රියාත්මක කර ඇති බවත් අප කළ විමසිමකදී වනජීවි අමාත්‍යංශයේ ඉහළ නිළධාරියෙකු පැවසීය.







