දිනසේන රතුගමගේ –
යාපනය නගරයේ කස්තුරියර් පාරේ ස්වර්ණාභරණ වෙළඳසැලකින් රුපියල් ලක්ෂ 30 ක මුදලක් බලහත්කාරයෙන් ලබාගත් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු ඇතුලුව සැකකරුවන් හය දෙනෙකු යාපනය පොලීසිය විසින් ඊයේ (19) අත් අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් ගෙන් දෙදෙනෙකු ස්වර්ණාභාරණ වෙළඳසැලට ඇතුළු වී තමන් රහස් පොලිස් නිලධාරීන් බව පවසා මෙම මුදල බලහත්කාරයෙන් ලබා ගෙන ඇත.
බලහත්කාරයෙන් මුදල් ලබා ගැනීමේ මේ සිද්ධියේ ප්‍රධාන සැකකරුව යාපනයේ චුන්නාකම් ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් දෙදෙනා හා ප්‍රධාන සැකකරු අතර ඥාතී සම්බන්ධයක් ඇති බව හෙළි වී තිබේ. ඒ අනුව ඔවුන් දෙදෙනාව අත් අඩංගුවට ගෙන ඇත්තේ කොළඹදීය.
චුන්නාකම් ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් සැකකරු ළඟ තිබී රුපියල් ලක්ෂ 10 ක මුදලක්ද පොලීසියට සොයා ගැනීමට හැකි වී තිබේ.
බලහත්කාරයෙන් මුදල් ලබා ගැනීමේ සිද්ධිය සඳහා සැකකරුවන් විසින් භාවිත කරණ ලද බවට සැක කෙරෙන වාහනයක්ද පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් සැකකරුවගෙන් ප්‍රශ්න කරගෙන යන අතර ඔවුන්ව යාපනය අධිකරනයට ඉදිරිපත් කිරීමට යාපනය පොලීසිය පියවර ගෙන තිබේ.







