විමුක්ති එස් රුද්‍රිගු –
එරෝෆ්ලෝට් ගුවන් සමාගම ශ්‍රී ලංකා වෙත සිදුකරන වාණිජ ගුවන් ගමන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එරෝෆ්ලෝට් ගුවන් සමාගමේ ගුවන් යානා ශ්‍රී ලංකාව වෙත බාධාවකින් තොරව පියාසර කිරීම සහතික කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව එරෝෆ්ලෝට් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
ගුවන් ප්‍රවේශපත්‍ර අලෙවි කිරීම ද එරෝෆ්ලෝට් ගුවන් සමාගම විසින් අත්හිටුවා ඇත.
එරොෆ්ලොට් ගුවන් යානා සෑම සතියකම බ්‍රහස්පතින්දා , සෙනසුරාදා සහ ඉරිදා වශයෙන් සතියකට දින 03 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත ඍජු ගුවන් ගමන් සිදු කරයි.
රුසියානු ගුවන් යානා ශ්‍රී ලංකාවට පැමිණි විට කිසිදු හේතුවක් මත රඳවා තබා ගැනීමක් සිදු නොකරන බවට ශ්‍රී ලංකාව සහ රුසියාව අතර එකඟතාවයක් ඇත.
ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන රට වන්නේද රුසියාවයි.
පසුගියදා අයර්ලන්ත රක්ෂණ සමාගමකට රක්ෂණ වාරික නොගෙවීමේ හේතුවක් මත රුසියානු එරොෆ්ලොට් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළේ රඳවා ගත්තේය.
මේ අතර රුසියානු විදේශ අමාත්‍යාංශය රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා අබේවික්‍රම ලියනගේ කැඳවා ශ්‍රී ලංකා බලධාරීන් විසින් ඒරෝෆ්ලොට් ගුවන් යානය රඳවාගැනීම ගැන සිය අප්‍රසාදය පළ කර තිබේ. රුසියානු විදේශ අමාත්‍යාංශය මේ සම්බන්ධව නිවේදනයක් ද නිකුත් කර තිබිනි.
මෙරට පිහිටි ”ඒරෝෆ්ලොට්” සමාගමේ කාර්යාලය ප්‍රකාශ කළේ රුසියානු එම ගුවන් යානයේ සියලු මගීන් අද (04) සහ හෙට (05) සිය මොස්කව් බලා පිටත්ව යන ගුවන් යානාවලින් සිය රට වෙත ගෙන්වා ගන්නා බවය.
රුසියානු ”ඒරෝෆ්ලොට්” ගුවන් යානය ශ්‍රී ලංකාවෙන් පිටවීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය අත්හිටුවන ලෙස එම රුසියානු ගුවන් සමාගම කර ඇති ඉල්ලීම මේ මස 8 වනදා විභාග කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කර ඇත.
ලංකාදීප –







