වර්තමානයේ මහා සංඝරත්නයට, ශාසනයට, කලාවට හා ඉතිහාසයට ලැබෙන සැලකිලි ගැන අපට සතුටු විය හැකිද යන ප්‍රශ්නය තමන් වහන්සේලා හමුවේ පවතින බව පූජ්‍ය වෙඬරුවේ උපාලි අභිධාන හිමියෝ ප්‍රකාශ කළහ.
ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපතිව වැඩසිට අපවත් වී වදාළ පූජ්‍ය වලවාහැංගුනවැවේ ධර්මකීර්ති ශ්‍රී රතනපාල හිමියන්ගේ 35 වන ගුණානුස්මරණය නිමිත්තෙන් භික්ෂූන් වහන්සේ සියක් නමක් උදෙසා පිරිනැමුණු සංඝගත දක්ෂිණාව ඊයේ (31) පෙරවරුවේ පැවැත්වුන අවස්ථාවේ එම පුණ්‍යෝත්සවයට සහභාගී වෙමින් අනුනායක හිමියෝ මේබව සඳහන් කළහ.
එහිදී උන්වහන්සේ ප්‍රකාශ කළේ රටේ පවත්නා අසාධාරණය සහ සංස්කෘතික සෝදාපාලුව හමුවේ මහා සංඝරත්නය නිහඬව නොසිටිය යුතු බවත්, කිසිදු තර්ජනයකට හෝ ගර්ජනයකට භික්ෂුව බිය නොවිය යුතු බවත්ය. ශාසනය මේ තරම් බැබලුනේ දේවදත්තලා නිසා බව ද අනු නායක හිමියෝ කීහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද පැවසූහ:
“මිහින්තලාව යනු අපේ ජාතියේ මුදුන් මුලයි. එදා මෙන්ම අදත්, හෙටත් මේ පුදබිම අපට ඉතා වටිනවා. නමුත් වර්තමානයේ මහා සංඝරත්නයට, ශාසනයට, කලාවට හා ඉතිහාසයට ලැබෙන සැලකිලි ගැන අපට සතුටු විය හැකිද යන ප්‍රශ්නය අප සැම හමුවේ තිබෙනවා. භික්ෂූන් වහන්සේ නිහඬ වුවහොත් මේ සිදුවන සංස්කෘතික විනාශය ගැන කතා කරන්නේ කවුද? බුදුන් වහන්සේට දේවදත්තලාගෙන් බාධා පැමිණි නිසාම උන්වහන්සේගේ බුදුගුණ වඩාත් ප්‍රකට වුණා. ඒ නිසා සත්‍ය වෙනුවෙන් පෙනී සිටීමේදී එන අභියෝගවලට අප බිය විය යුතු නැහැ.”
මෙම පුණ්‍යෝත්සවයට සමගාමීව, වත්මන් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් විසින් රචිත “සිව් බුදුවරුන්ගේ සිරිපා පහස ලැබූ සේල චේතිය” නමැති පර්යේෂණාත්මක කෘතිය දොරට වැඩීමද සිදු විය.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ප්‍රදේශවාසීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී සිටියහ.







