බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුරලිගේ ජීවන අන්දරය සහිතව ලෝකයට එන 800 චිත්‍රපටය ගැන එම්. එස්. ශ්‍රීපති ඉන්දියාවේ සිට කියන කතාව!

by editor
ඔක්තෝබර් 7, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ෆවුස් මොහොමඩ්
(සිළුමිණ පුවත් පතින් උපුටා ගැනුණි.)

එතෙක් මෙතෙක් ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම දඟපන්දු යවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන්ගේ ජීවිතය පදනම් කරගෙන ඉන්දියාවේ දෙමළ සිනමාවේ නිර්මාණ වූ ‘800‘ අපදාන සිනමා කෘතිය තිරගත කිරීම අරඹා තිබේ. ‘800‘ සිනමාවට එක්වූයේ මුරලිදරන් 2010 වසරේ ජූලි මාසයේ ඉන්දියාවට එරෙහිව ගාල්ල ක්‍රිකට් පිටියේ පැවැති ඔහුගේ අවසන් ටෙස්ට් තරගයේ අවසන් ඉනිමේදී ටෙස්ට් කඩුලු 800 සම්පූර්ණ කිරීමේ 13 වැනි සංවත්සරය දිනය යෙදී තිබූ පසුගිය 6 වැනිදාය.

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ඔස්ට්‍රේලියා රටවල රූගත කළ මුරලිගේ ‘800‘ සිනමා නිර්මාණය ඉන්දියාවේ තමිල්නාඩුවේ, ශ්‍රී ලංකාවේ, අමෙරිකාවේ, බ්‍රිතාන්‍යයේ සහ මැදපෙරදිග ඇතුළු රටවල් 15කට එකවර මුදාහැර තිබිණි. දෙමළ බසින් නිර්මාණය කළ ‘800‘ සිංහල හා තෙළිඟු බසින් හඬ කවා ඇති අතර, ඉංග්‍රීසි බසින් උපශීර්ෂ ගන්වා තිබේ.

දෙමළ සිනමා අධ්‍යක්ෂ එම්. එස්. ශ්‍රීපති සහ බුකර් සම්මානලාභී ශෙහාන් කරුණාතිලක එක්ව තිර රචනය කළ මේ චිත්‍රපටය ශ්‍රීපතිගේ අධ්‍යක්ෂණයකි. ජාත්‍යන්තර කීර්තියට පත් වු ‘Slumdog Millionaire‘ චිත්‍රපටයේ රඟ පෑ මාතූර් මිටාල් මේ චිත්‍රපටයේ මුරලිගේ භුමිකාවට පණ පොවා ඇත.

සිංහල කලහකාරී පිරිසක් විසින් ගිනිතබා විනාශ කළ ව්‍යාපාර හිමි වතුකරයේ පවුලකින් පැවත එන දෙමළ තරුණයකු පසුකාලීනව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රබලතම ක්‍රීඩකයකු බවට පත්වී ජාත්‍යන්තර කීර්තියට පත් වූ අයුරු, ජාතිවාදී යුද ගිනිදැල්වලින් දශක තිහක් තිස්සේ ශ්‍රී ලංකාවේ භීෂණය හා වෛරය වැපිරූ කාල වකවානුවක ජාතික ක්‍රිකට් පිලේ සෙසු ක්‍රීඩකයන් අතර සිටි එකම දෙමළ ක්‍රීඩකයා ලෙස ක්‍රීඩකයන්ගේ විවේකාගාරයේදී ඔවුන් හා එක්ව ජය පරාජය විඳ දරාගත් අයුරු, පන්දුව දමා ගසන බවට ඔස්ට්‍රේලියානු විනිසුරුවරුන් විසින් සිදු කරනු ලැබූ කෙණෙහිලිකම්වලින් මානසිකව බිංදුවටම ඇද වැටී සිටියදි නායක අර්ජුන රණතුංග ඇතුළු ජාතික පිලේ සියලු ක්‍රීඩකයන් සහ පොදුවේ සමස්ත රටම කිසිදු ආගම් භේදයකින්, ජාතිභේදයකින් තොරව මුරලි සමඟ සිටගත් අයුරු එකට ගොනු කළ මේ අපුරු සිනමා සිත්තම ශ්‍රී ලංකාවට, ඉන්දියාවට පමණක් නොව මුළු ලොවටම කියා පාන්නේ සහජීවනයේ අපූරු පාඩමකි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන ව්‍යවස්ථා සංශෝධනයට නීතිඥ සංගමයෙන් දැඩි විරෝධයක්: ජනාධිපතිවරයා වෙත ලිපියක්!

පාස්කු ප්‍රහාර විමර්ශනය – ගෝඨාභය සහ තවත් හමුදා නිලධාරීන් දෙදෙනෙකුගේ විදෙස් ගමන් තහනම්…

මුරලිගේ ‘800‘ චිත්‍රපටයේ අධ්‍යක්ෂ එම්. එස්. ශ්‍රීපති තමිල්නාඩුවේ සිට ‘සිළුමිණ‘ සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වූයේ අභියෝග රැසක් මැද මුරලිගේ ‘800‘ සිනමාවට නැඟුණු අයුරු සහ ඒ සඳහා සිදු කළ මෙහෙයුම සම්බන්ධව මෙතෙක් කිසිවකු නොදැන සිටි අපූරු සිදුවීම් ගැන කතාබහ කිරීමටය.

‘ඇත්තටම මුරලිගේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න හිටියේ මම නෙවෙයි වෙන්කට් ප්‍රභූ කියන දකුණු ඉන්දීය සිනමාවේ ප්‍රකට අධ්‍යක්ෂවරයා. මම ඔහු යටතේ සහාය අධ්‍යක්ෂවරයෙක් විදිහට වැඩ කරලා තිබුණා. මම එක් වුණේ සහාය අධ්‍යක්ෂවරයා විදිහට හා මුරලි ගැන ගවේෂණය කරලා තිර රචනය කරන්නයි. අන්තිමට මම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලයි නැවතුණේ.‘ ශ්‍රීපති කතාබහට එක්වූයේ එලෙසිනි. වෙන්කට් ප්‍රභූ යනු දකුණු ඉන්දීය සිනමාවේ විශිෂ්ට සංගීතඥ ඉලෙයරාජාගේ බාල සොහොයුරු ගංගෙයි අමරන්ගේ පුත්‍රයෙකි.

‘මුරලි සර්ගේ බිරිඳයි වෙන්කට් ප්‍රභුයි පොඩි කාලේ ඉඳලා යාළුවෝ. එහෙම තමයි හදිසියේම මුරලි සර්ගේ චිත්‍රපටයක් හදන්න ඕන කියන අදහස ඇතිවුණේ. අනිත් එක වෙන්කට් ප්‍රභූ මීට කළින් ‘චෙන්නෙයි 28‘ කියලා දෙමළ චිත්‍රපටයක් කරලා තිබුණා. ඒක සාර්ථක වුණා. ඒක වීදි ක්‍රිකට් (Street cricket) ගැන නිර්මාණය වුණු චිත්‍රපටයක්. ඒ නිසා වෙන්කට් ප්‍රභූට තරමක් නමකුත් හැදිලා තිබුණේ ක්‍රිකට් ගැන චිත්‍රපටිවලට. ඉතින් එයා මුරලි සර් ගැනත් චිත්‍රපටයක් කරන්න උනන්දුවක් ඇති වුණා. ඊට පස්සේ තමයි මුරලි සර්ගේ ක්‍රිකට් සහ පෞද්ගලික ජීවිතය ගැන ගවේෂණය කරලා තිර කතාව ලියන්න මාව කැඳෙව්වේ. එහෙම තමයි පටන් ගත්තේ.‘ චිත්‍රපටය සඳහා පසුබිම නිර්මාණය වූ අයුරු ශ්‍රීපති විස්තර කළේ එලෙසිනි.

තිර රචනයට පෙර ඔහු වෙන්කට් ප්‍රභූ සමඟ 2018 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, ඔවුන්ට එහිදී මුරලිගේ කළමනාකරු ලෙස කටයුතු කරන ගුඩ්නස් සුබසාධන පදනමේ නිර්මාතෘ කුෂිල් ගුණසේකර මුණ ගැසුණු බව ද ශ්‍රීපති කීවේය.

‘ඊට පස්සේ මම තිර රචනයට සූදානම් වුණා. මුරලි සර් අයිපීඑල් තරගාවලියට හයිද්‍රබාද් ආවම අපි මුණ ගැහුණා. කොහොමහරි අන්තිමේදී වෙන්කට් ප්‍රභූට මේක පටන් ගන්න කළින් වෙන ප්‍රොජෙක්ට් එකකට යන්න සිද්ධ වුණා. එහෙම තමයි මම අධ්‍යක්ෂවරයා වුණේ.

මමත් ඇත්තටම ක්‍රිකට්ලෝලියෙක්. ඒ වගේම මම පාසල් කාලයේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවෙලා තිබුණා. ඉන්දියාවේ හැම පොඩි දරුවකුගේම හීනයක් තමයි කවදාහරි දවසක ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන එක. ඒ හීනය මටත් තිබුණා. මගේ පාසල් කාලේ ක්‍රිකට් ගැන එච්චර කියන්න තරම් දෙයක් නෑ. අවුරුදු 13න් පහළ සෙල්ලම් කරද්දි මාව ඩොමෙස්ටික් ලෙවල් එකට තේරුණු එක තමයි ලොකුම දේ වුණේ.

මම සෙල්ලම් කළේ වේගපන්දු යවන්නෙක් විදිහටයි. ඒත් මම එච්චර උස නැති නිසා මට පාසල් කණ්ඩායමට එකතු වෙන්න බැරිවුණා. ඒක නිසා මම දඟපන්දු යවන්නෙක් විදිහට වෙනස් වුණා. මගේ කතාවත් මුරලි සර්ගේ කතාවට ටිකක් සමානයි. එයාත් වේගපන්දු යවන්නෙක් විදිහට ඇවිත් අන්තිමේදී දඟපන්දු යවන්නෙක් වුණානේ. ඒකත් මට අමතක වෙන්නෙ නැති කාරණාවක්. ඔහ් මගේ දෙවියනි මේක මගේ ජීවිතයෙත් සිද්ධ වුණා නේද කියලා මට හිතුණා.

ඒත් මුරලි සර්ට මගේ කතාව කොහෙත්ම සමාන කරන්න බෑ මගේ ක්‍රිකට් නිකං වීදි ක්‍රිකට් වගේ. කිසිම වෘත්තිමය තත්ත්වයක් තිබුණේ නෑ. ක්‍රිකට් අත්හැරලා සිනමාවට ඇවිත් අන්තිමේදී ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයකුගේ චිත්‍රපටයක් කරන්නත් අවස්ථාව ලැබුණා.මගේ රිසර්ච් එකට කළින් මුරලි සර්ගේ ගෙදර ගියාම මම දැක්කා එයාට ක්‍රීඩාවෙන් ලැබුණු සමරු තිළිණ, සම්මාන, කුසලාන වගේම ඔහු තරගවලදී වාර්තා තියන්න පාවිච්චි කරපු පන්දු තියෙනවා. ඒවා දැක්කම මට හිතුණේ මමත් ඇත්තටම ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න නේද හීන මැව්වේ කියලා. දැන් මම ලෝක පූජිත ක්‍රීඩකයකු ගැන චිත්‍රපටයක් කරන්න යනවා නේද කියලා.‘ ඔහු සිනාසෙමින් එසේ කීවේය.

‘ඇත්තටම ක්‍රිකට් ක්‍රීඩාවෙන් පිටත මුරලි සර්ගේ පෞද්ගලික ජීවිතයේ කතාව ඇහුවම ඒක අතිශයින්ම පුදුමාකාරයි. එයා ගෙවපු හා ලබපු ජීවිත අත්දැකීම් පුදුමාකාරී දේවල්. මේ කතාව හැමෝටම කියන්න ඕන, හැමෝම දැනගන්න ඕන කතාවක් කියලා මට හිතුණා. ඒත් කොහොමද ඒක කරන්නේ කියලා. මොකද සිනමාව කියන මුහුණුවර සම්පූර්ණයෙන්ම වෙනස්. ඔයාට කතාව කියන්න වෙනවා පැය දෙකහමාරෙන් තුනෙන්. ඒ නිසා මට සිද්ධ වුණා එයාගේ ජීවිතයේ චිත්‍රපටයකට ගැළපෙන කතා ටිකක් හොයාගන්න. ඒක ලොකු අභියෝගයක් වුණා. අපදාන චිත්‍රපටයක් නිසා මුරලිගේ ජීවිතය ගැන නිවැරැදි දේවල් දැනගන්න සිනමා ලෝලීන්ට ඕන වෙනවා. ඒකත් එක්කම මේක ආරම්භයක්, මැදක් වගේම අවසානයකුත් තියෙන චිත්‍රපටයක් විය යුතුයි. ඉතින් ඒ නිසාම මේක ලොකු අභියෝගයක් වුණා.

කතාව ලියන්න පටන්ගත්තට පස්සේ සහාය රචකයෙක් විදිහට එකතු වෙන්න මම ශෙහාන් කරුණාතිලකට ආරාධනා කළා.මම ශෙහාන්ව දන්නේ එයාගේ ‘චයිනමන්‘ පොත කියවලා තිබුණු නිසයි. ඒක මගේ හිතට ගොඩාක් වැදුණු කතාවක්. අනික මේක ලියද්දී මට ලංකාවෙන් කාගේ හරි සහයෝගය ඕන වුණා. මොකද මම විදේශිකයෙක්නේ. මට ලංකාවේ සංස්කෘතිය අවබෝධ කරගන්න ඕන වුණා. මිනිස්සු ගැන අවබෝධ කරගන්න ඕන වුණා. ඒ නිසා මට හිතුණා ශ්‍රී ලංකාවේ රචකයෙක් අත්‍යවශ්‍යයි කියලා. මම කෙනෙක් හොය හොයා හිටපු කාලේ තමයි මට චයිනමන් කියවන්න ලැබුණේ. ශෙහාන්ගෙන් හැම අතින්ම හොඳ සහයෝගයක් ලැබෙයි කියලා මට හිතුණා. ඇත්තටම එයා එක්ක වැඩ කිරීමෙන් මම ලොකු සතුටක් ලැබුවා. ඒක ඉතා හොඳ අත්දැකීමක් වුණා.‘ ඔහු පැවැසීය.

මුරලිදරන් තමිල්නාඩුවේ අතිශයින්ම ජනප්‍රිය චරිතයක් බව ශ්‍රීපති කීවේය.

‘මිනිස්සු ආසාවෙන් බලාගෙන ඉන්නේ ශ්‍රී ලංකාවේදී සිද්ධ වුණු එයාගේ ජීවිතයේ කුතුහලය දනවනසුලු දේවල් දැනගන්න. අපි මුලින්ම මුරලි සර්ගේ චරිතයට ගත්තේ විජේ සේතුපති. ඒක හැමෝම දන්න කාරණාවක්. ඒ වගේම එයාට මේ චිත්‍රපටයෙන් අයින් වෙන්න සිද්ධ වුණේ ඇයි කියලත් මිනිස්සු දැන් දන්නවා. ඒ කාලේ තමිල්නාඩුවේ මැතිවරණ උණුසුමක් තිබුණු කාලයක්. ඒ නිසා සේතුපති මුරලි සර්ගේ චිත්‍රපටයට එකතුවීම දේශපාලන අර්බුදයක් බවට පත් වුණා.

ඒ වෙලාවේ අපි තීරණය කළා අපිට මේ වගේ දේශපාලන මුහුණුවරක ප්‍රචාරයක් චිත්‍රපටයට අවශ්‍ය නෑ කියලා. ඒක පැහැදිලියි. මොකද සේතුපති ගොඩාක් ජනප්‍රිය නළුවෙක්. අනික මේක පළමු සිද්ධියත් නෙවෙයි. ඉන්දියාවේ ගොඩාක් චිත්‍රපටවලට මේ වගේ විරෝධතා පැණ නැඟිලා තියෙනවා. ජනප්‍රිය නළුවන්ට මේ වගේ තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධවෙලා තිබුණා. මතභේද ඇතිවෙලා තියෙනවා. මේක සිද්ධ වුණේ ආරම්භයේදිමයි. සේතුපති ලොකු නළුවෙක්. ඒ වගේ නළුවන්ට මේවා ලෙහෙසියෙන් සිද්ධවෙනවා. ඔබට තරුවක් හෝ ජනප්‍රිය නළුවෙක් වෙන්න ඕන නම් මතභේදවලින් හා අර්බුදවලින් වැළකෙන්න වෙනවා.‘ඔහු සඳහන් කළේය.

‘අපි සේතුපති තෝරාගත්තේ එයා තමයි මුරලි සර්ගේ චරිතයට හරියටම ගැළපෙන නළුවා නිසායි. ඒත් පස්සේ මාතුර් ආවම.. රඟපාන්න පටන් ගත්තම, සේතුපතිට කරන්න තිබුණු දේවල් එක්ක බැලුවම මාතුර්ගේත් කිසිම අඩුවක් මට පෙනුණේ නෑ. ඒ අතින් මම මාතුර් ගැන සතුටු වෙනවා. ඔහුගේ හැකියාව ගැන මම තෘප්තිමත් වෙනවා.

වාසනාවකට මාතුර්ට ක්‍රිකට් මූලික දැනුමකුත් තිබුණා. එයාට ක්‍රිකට් ගහන්නත් පුළුවන්. එයා ලොකු මට්ටමකින් සෙල්ලම් කරලා නොතිබුණත් එයාට පන්දු යවන්නත් පිතිහරඹයටත් තරමක හැකියාවක් තිබුණා. ඒ නිසා වැඩේ ලේසි වුණා. නමුත් අපිට එයාව ටිකක් පුළුල් විදිහට පුහුණු කරන්න සිද්ධ වුණා මොකද එයා චිත්‍රපටයේදී මුරලි වගේ පේන්න ඕන වුණු නිසා. ඒ වගේ ඉරියව්වලට පුරුදු වෙන්න ඕන වුණු නිසා. හරියටම නෙවෙයි ඒත් අපිට ඕන කළා මිනිස්සුන්ට තේරුම් කරවන්න මුරලි තමයි චිත්‍රපටයේ ඉන්නේ කියලා. ඒක යම් තරමකින් මනසට කාවද්දන්න ඕන කළා.

ඒ නිසා අපිට පන්දු යැවීමේ පුහුණුකරුවෙක් වැටුප් ගෙවා ගන්නත් සිද්ධ වුණා. මම හිතන්නේ මාතුර් ඒක සාර්ථකව කළා කියලයි. මුරලි සර් පවා කිව්වා එයා බෝල් කරන විදිහට ටිකක් සමානව මාතූර් බෝල් කරනවා කියලා. ඒ එක්කම අපිට කැමරා තාක්ෂණයත් හොඳින්ම පාවිච්චි කළා. අපිට හරියටම මුරලිව මවන්නම නෙවෙයි එයාගේ හැඟීම් උද්දීපනය කරවන්නයි ඕන වුණේ.‘ ඔහු කීවේය.

‘800‘ චිත්‍රපටයේ මුරලිගේ චරිතයට අමතරව අතිශය වැදගත් හා අවධානය යොමු වූ අනික් චරිතය වන්නේ එවකට ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස කටයුතු කළ අර්ජුන රණතුංගගේ භූමිකාවය. මුරලිගේ ක්‍රිකට් ජීවිතයේ වැදගත්ම චරිතය ද ඔහුය.

කිං රත්නම් අර්ජුනගේ චරිතය රඟපාමින්…

‘අපි අර්ජුන රණතුංගේ චරිතයට ගත්තේ කිං රත්නම් කියන ශ්‍රී ලාංකික දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂවරයාවයි. ඇත්තටම ඔහුට අර්ජුනගේ රූපයට ලොකු සමානකමක් තිබුණේ නෑ. ඒත් අපි ඔහුව ඒ විදිහට හැඩගැස්වුවා. අනිත් චරිතවලට වගේම. අව්කන්නාඩි දැම්මම. හිස්වැස්ම දැම්මම, විවිධ ඈන්ගල්වලින් බැලුවම වෙනසක් පෙනෙන්න තිබුණේම නෑ. හරියටම රූපයටම සමාන රූප ගැන නෙවෙයි අපි කල්පනා කළේ. අපි ඒ ගැන අවධානය යොමු කළේ අඩුවෙන්. මොකද මේක විකට ඇඳුම් තරගයක් නෙවෙයිනේ. අපි කරන්නේ චිත්‍රපටයක්. ලෝක පූජිත චරිත ගැන.

කොහොමත් චිත්‍රපටය පටන් අරන් මිනිත්තු දහයක් පහළොවක් යද්දී හැමෝටම මාතුර් මුරලි වගේ පේන්න ගනීවි. රූපයට හරියටම සමාන කෙනෙක් පෙන්නනවාට වඩා නිර්මාණයෙන් කියන පණිවුඩය තමයි වැදගත් වෙන්නේ. අනික අපිට මාතූර්ට මුරලි සර්ගේ ඉරියව් අනුකරණය කරන්න ඕන වුණේ නෑ. එතකොට ඒක විහිළුවක් වෙනවා. මුරලිගේ ස්වභාවික ඉරියව් කොහොමටත් තරමක් වෙනස්. ඒක අනුකරණය කරන්න ගියාම විහිළුවක් වෙනවා. නමුත් අර්ජුනගේ ඉරියව් එහෙම නෙවෙයි. මේවා තමයි අපි වැඩිපුර අවධානය යොමු කළ කාරණා.‘ ශ්‍රීපති එසේ පැහැදිලි කළේය.

‘මේක කුතුහලය දනවන අසාමාන්‍ය හා අභියෝගාත්මක මෙහෙයුමක්. සාමාන්‍ය පවුලකින් ඇවිත් ගොඩාක් දේවල් අත්කරගත්තු චරිතයක් ගැන ලෝකයට කියා දෙන පාඩමක්. අනික ප්‍රබෝධය ඇතිකරවනසුලු චිත්‍රපටයක්. ඇයි මේ චිත්‍රපටය හැමෝම නැරඹිය යුත්තේ. ඒකට හේතුව තමයි අද අපි ජීවත් වෙන්නේ තරගකාරි ගැටලු සහිත ලෝකයක.

කල්ලිවාදය, ජාතිවාදය, දේශපාලන වශයෙන් බෙදීම්, ආගම් වශයෙන් බෙදීම් එමටයි. ජයගන්න බාධක ගොඩයි. මේ චිත්‍රපටය ඒ හැම බාධකයක්ම කඩා බිඳ දමනවා. ‘800‘ චිත්‍රපටයෙන් යමක් අවබෝධ කරගන්න, පාඩමක් ඉගෙන ගන්න සිනමා ලෝලින්ට අවස්ථාවක් ලැබේවි කියලා මම හිතනවා. ඒක තමයි අපේ බලාපොරොත්තුව.

මම හිතන්නේ කලාකරුවන් හැටියට අපේ වගකීම වෙන්නේ රටවල්, භාෂා, ජාතීන් මේ හැමදෙයක්ම අපි හදාගත්තු දේවල් කියලා සමාජයට මතක් කරලා දෙන එකයි. චිත්‍රපටයෙන් කියැවෙන්නේ කොයිතරම් කම්කටොලු තිබුණත් කැපවීමෙන් වැඩ කරනවා නම් අභියෝග ජයගැනීම අපහසු නෑ කියන එකයි. මම හිතන්නේ මුරලි සර්ගේ කතාව හැමෝම දැනගන්න ඕන එකක්. ඒක හැමෝටම කියන්න ඕන එකක්.‘ ඔහු කියා සිටියේය.

‘800‘ චිත්‍රපටයට මිනිස්සුන්ට ආසා හිතේවි. හැමෝම නරඹාවි. එකම දවසේ ඉන්දියාවේ, ශ්‍රී ලංකාවේ වගේම ඔස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, අමෙරිකාව, මැදපෙරදිග දළ වශයෙන් රටවල් 15ක විතර අපි මේ චිත්‍රපටය තිරගත කරනවා.

මීට කලින් ක්‍රිකට් ගැන චිත්‍රපට හැදිලා තිබුණට ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයකුගේ ජීවිත කතාව අරබයා නිර්මාණය වුණු පළමු චිත්‍රපටය තමයි මුරලි සර්ගේ චිත්‍රපටය. ඔහු මට මුලින්ම මුණ ගැහුණු වෙලාවේ එයා ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙක් විදිහට විතරයි මම දැක්කේ. ඒත් ඇසුරු කරද්දී ඔහු ඉතා නිහතමානී, සෘජු හා අවංක පුද්ගලයෙන් කියලා මට වැටහුණා. මුරලි සර් කරන දේ හරියට කරනවා. ඒ වගේ ක්‍රිකට් ක්‍රීඩකයන් හරි අඩුයි. ඔහුට ශක්තිමත් පෞරුෂයක් තියෙනවා.‘

‘800‘ තිර රචනය සඳහා තමා කළ කැපවීම ගැන ශ්‍රීපතිට ඇත්තේ සතුටකි. ඔහු ඒ ගැන කතා කළේ දැඩි උනන්දුවකිනි.

‘තිර රචනයට කරුණු හොයන්න මම මහනුවර එයාගේ ගෙදරටත් ගියා. පවුලේ සාමාජිකයන් මුණ ගැහුණා. පොඩි කාලේ එයාගේ යාළුවෝ මුණ ගැහුණා. ගුරුවරු පවා මුණ ගැහුණා. මුරලි සර් එක්ක ඒ කාලයේ ක්‍රීඩා කළ ක්‍රීඩකයන් එක්කත් කතා කළා. මට එයාලා මුරලි ගැන හිතන විදිහත් දැනගන්න ඕන වුණා. මේ චිත්‍රපටයට ඇතුළත් කරපු සමහර කතා ඇත්තටම මුරලි සර් පවා දැනගෙන හිටියේ නෑ. එයාත් පුදුම වුණා. දෙමළ විරෝධි කණ්ඩායම් එක්ක පවා මම කතා කළා. මුරලි සර් ගැන කරුණු හොයන්න මම ලංකාව පුරා ගියා. යාපනයටත් ගියා.‘ ඔහු පැවැසීය.

මුරලිගේ ක්‍රිකට් ජීවිතයේ දැවැන්ත සෙවණැල්ල බවට පත්වූ ශ්‍රී ලංකා පිලේ හිටපු නායක අර්ජුන රණතුංග පිළිබඳ ශ්‍රීපතිට ඇත්තේ ගෞරවාන්විත ආකල්පයකි.

‘මම අර්ජුන රණතුංග මුණ ගැහිලා ගොඩාක් කතාබහ කළා. ඒක හරි ප්‍රීතිමත් හමුවීමක්. අර්ජුන එයාව දැකපු හැටි, කණ්ඩායමට ගත්තු හැටි වගේ දේවල් මම දැනගත්තා. නවකයෙක් විදිහට මුරලි සර් කණ්ඩායමට එකතු වුණාම අර්ජුන එයාට ‘ගෝඩ් ෆාදර්‘ කෙනෙක් වගේ වුණා. ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට මුරලි සර් මුහුණු දුන්නු ගැටලුවලදී පෙනී හිටියේ හරියට වැඩිමල් සහෝදරයෙක් වගේ. එහෙම නොවුණාම් මුරලි කියන ශ්‍රේෂ්ඨ පන්දු යවන්නා ලෝකයට බිහි නොවන්නත් තිබුණා. අර්ජුනට ලොකු විශ්වාසයක් තිබුණා මුරලි සර් කවදාහරි ලෝකය ජයගන්නවා ඉහළටම යනවා කියලා.‘ ශ්‍රීපති කීවේය.

‘800‘ හැමෝගෙම ඇස් පාදන චිත්‍රපටයක් විදිහටයි මම දකින්නේ. ඒක ශක්තිමත් පණිවුඩයක් ලෝකයට දෙන චිත්‍රපටියක්. මම හැමෝගෙන්ම ඉල්ලන්නේ ඇවිත් මේ චිත්‍රපටය නරඹන්න කියලයි.‘ ඔහු අවසන් වශයෙන් කියා සිටියේය.

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

අළුත  උපන් බිළිඳා නාන කාමරයේ බේසමකට දමා අවිවාහක 18 හැවිරිදි තරුණිය උදරාබාධයක් බව කියමින් රෝහල්ගත වෙලා!

Next Post

ජයග්‍රහණය අපහසු බව ඇත්ත… පිළිගන්න පුලුවන් තරගයක් දෙන්න… ඉතිහාසය වෙනස් කරමින් දකුණු අප්‍රිකාවෙන්

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.