ශ්‍රියානි විජේසිංහ
විදේශගතවීමට නිවාඩු අනුමත කරවා ගැනීම සදහා මසකට වෛද්‍යවරු 50 – 60ක් දෙනා සෞඛ්‍ය අමාත්‍යංශයට අයදුම්පත් යොමු කරන බව අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙසේ යොමුකරන අයදුම්පත් සඳහා නිවාඩු අනුමත කිරිම සැලකියයුතු ලෙස ප්‍රමාද වන බැවින් බොහෝ වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යංශයට නොදන්වා විදේශගත වීම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහගෙන් ලංකාසර කළ විමසුමකදී සදහන් කළේය.
වෛද්‍යවරුන්ගේ නිවාඩු නිසිලෙස කඩිනමින් අනුමත කර දීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් කටයුතු කරන්නේ නම් නිසි ක්‍රමවේදයට අනුව වෛද්‍යවරුන්ට විදේශ ගතවීමේ හැකියාව පවතින බව හෙතෙම පැවසුවේය.
රට තුළ උද්ධමනය දිනෙන් දින ඉහළ යාම රජය ක්‍රියාත්මක කිරීමට යෝජිත අසාධාරණ බදු ප්‍රතිපත්තිය , රෝහල්වල පවතින ඖෂධ හා ශල්‍ය උපකරණවල හිඟය හේතුවෙන් රෝගී සත්කාර සේවාවන් පවත්වාගෙන යාමට නොහැකි විම හේතුවෙන් වෛද්‍යවරුන් මෙසේ රටහැර යාමට පටන් ගෙන ඇතැයි වෛද්‍ය චමිල් පැවසුවේය.
මේ වන විට මොණරාගල රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයෙක් නොමැතිවිම, හේතුවෙන් අධිකරණ වෛද්‍ය කටයුතු සදහා මෘතදේහය රැගෙන මරණකරුගේ ඥාතීන්ට අම්පාරට යාමට සිදුව ඇතැයි පෙන්වාදෙන වෛද්‍යවරයා මහඔය මූලික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් නොමැති විම හේතුවෙන් රෝගීන්ට එම සේවාව ලබා ගැනීම සඳහා දෙහිඅත්තකණ්ඩිය, පොළොන්නරුව හෝ අම්පාර රෝහල්වලට යාමට සිදුව ඇතැයිද සඳහන් කළේය.
තිස්සමහරාමය, නුවරඑළිය , හා පානදුර රෝහල්වලද විශේෂඥ වෛද්‍යවරුන් නොමැති වීම බරපතල තත්ත්වයන් නිර්මාණය කරන බවද වෛද්‍ය චමිල් පැවසුවේය.
විශේෂඥ වෛද්‍යවරුන් සැලකිය යුතු පිරිසක් මේ වන විට රටහැර ගොස් ඇති අතර තවත් පිරිසක් සූදානමින් සිටින බවද පෙන්වාදෙන වෛද්‍ය චිජේසිංහ ඉදිරියේදී තවත් රෝහල් රැසක විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය ඇතිවීම වැලැක්විය නොහැකි බවද පෙන්වාදේ.







