ජානක ලියනආරච්චි –
සම්බුද්ධ පරිනිර්වාණය සම්බන්ධ ඉතිහාසඥයන් අතර පොදු එකඟතාවක් නැතත් සාමාන්‍ය පිළිගැනීම වන්නේ ක්‍රිිස්තුපූර්ව 544 දි හෝ 543 දී එය සිදුවූ බවය. මේ අනුව ගණනය කරන කල්හි මහින්දාගමනය සිදුවන්නේ ක්‍රිස්තුපූර්ව 308 හෝ 307 දී පමණ පොසොන් පුන් පොහෝ දිනකය. ( සුරවීර ඒ.වී. ශ්‍රි මහාබෝධි පුරාවෘතය, 4 පිටුව). ඒ අනුව අප ආසන්න ලෙස සැලකුවහොත් මෙවර සිංහල බෞද්ධයින් විසින් සමරනු ලබන්නේ 2331 වැනි පොසොන් උත්සවය ය.
බුදු සමය රැගෙන මිහිඳු හිමි ඇතුළු පිරිස ලංකාවට වැඩම කරන්නේ ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයා විසින් ප්‍රත්‍යන්ත දේශයන්හි කරන ධර්ම ප්‍රචාර ව්‍යාපාරයේ ප්‍රතිඵල ලෙසය. අශෝක අධිරාජ්‍යයා හා තිස්ස රජු අතර ඇතිවන රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙණුවක ස්වරූපයත් මේ ධර්ම දූත කාර්යය තුළ ගැබ්වී තිබේ.
මොග්ගලීපුත්ත තිස්ස නැමැති මහා තෙරනුවන්ගේ මූලිකත්වයෙන් සිදුකරන තුන්වන ධර්ම සංගායනාවෙන් අනතුරුව සංවිධානයවන ධර්ම දූත මෙහෙවරෙහි අතිශය ඵලදායී ධර්ම දූත කාර්යය ඉටු කරනු ලබන්නෝ මිහිඳු හිමියෝය. මොග්ගලීපුත්ත තිස්ස මහ තෙරුන්ගේ ශික්ෂණය ලබමින් පුරා තුන් වසරක් ධර්ම විනය ප්‍රගුණ කරන මිහිඳු හිමියෝ පැණවතෙක් වෙති. අශෝක අධිරාජ්‍යයාගේම පුතනු කෙනෙක් වෙති. එතුමාගේ ආගමනයෙන් පසු ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවත් වඩම්මාගෙන මෙහෙණි සස්න පිහිටුවීම සඳහා ලක්දිවට වඩින සංඝමිත්තාවෝ අශෝක අධිරාජ්‍යයාගේ දියණියෝ වෙති. මිහිඳු හිමිගේ ධර්ම දූත කණ්ඩායමේ වන්නෝ ඉත්තිය, උත්ථිය, සම්බල, බද්ධසාල, හිමිවරුත්, සුමන සාමනේරයන් වහන්සේ හා භණ්ඩුක නැමැති උපාසකත්ය. සුමන සාමනේරයන් ගිහිකළ සංඝමිත්තාවගේ පුතනුවෝ ය. ලංකාවෙහි ධර්ම දූත මෙහෙවර සාර්ථක කරගැනීම සඳහා අශෝක රජුගේ විශේෂ අභිලාෂය මෙන්ම රජකෙනෙකුට උචිත පෞරුෂය, උපේක්ෂාව හා අතිශය තීක්ෂණ බුද්ධිමය සැලසුම් සහිත මිහිඳු හිමියන්ගේ අසාමාන්‍ය කළමණාකාරන හැකියාව උන්වහන්සේ බුදු සමය ලක්දිව ස්ථාපිත කළ විචක්ෂණ ආකාරයෙන් පෙනේ. එය තුළ ආගමික, ශාසනික මෙන්ම දේශපාලන විනයක් ද පැවති ආකාරය දැකගත හැකිය.
මහින්දාගමන ඓතිහාසිකව තහවුරු කරන සාධක
මහාවංශයේ සඳහන් මහින්දාගමන සිද්ධිය පුරාවිද්‍යාත්මක සාධක ඇසුරින් යළිත් සනාථ වී තිබේ. මේ සාධක ලැබෙන්නේ අම්පාර රජගලිනි.
දෙවනපෑතිස් රජුගේ ඇවෑමෙන් රජ වූ ඔහුගේ සොයුරු උත්තිය කුමරු රජපැමිණීමෙන් 8 වන වර්ෂයෙහි සැටවස් පිරුණු මිහිඳු හිමියෝ පිරිනිවියෝය. උන්වහන්සේ පිරිනිවන්පාන්නේ වප් මස (ඔක්තොම්බර්) මස පුරපක්ෂයෙහි අටවක දාය. ( මහාවංශ, 20 පරිච්ඡේදය, 32 -34 ගාථා). බද්ධමාලකයේ කළ ආදාහන පූජෝත්සවයෙන් පසු මිහිඳු හිමියන්ගේ ධාතු ගෙන්වා ගන්වාගත් උත්තිය රජු අනුරාධපුරයේද, සෑගිරි වෙහෙරේද, සියලු විහාරයන්ගේද සෑ බැඳවූයේය. ( මහාවංශය, 20 පරිච්ඡේදය, 46 – 47 ගාථා). මිහිඳු හිමියන්ගේ ධාතු තැන්පත් කර තැනූ දාගැබක් පිළිබඳ අම්පාර රජගලින් ලැබේ. ඒ සෙල් ලිපියේ මෙසේ සඳහන් වේ.
“ යෙ ඉම දීප පටමය ඉදිය අගතන ඉදික තෙර මහිද තෙරහ තුබෙ ”. පූර්ව භ්‍රාමීය අක්ෂරවලින් යුතු පාඨය සහිත මෙම සෙල් ලිපියේ සඳහන්වන්නේ මිහිඳු හිමියන්ගේ හා ඉත්ථිය හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කර තැනූ කුඩා දාගැබක් ගැනය. මින් තහවුරු වන්නේ මහාවංශයේ ඇති ඓතිහාසික වැදගත්කමය.
දේශනා සදහා තෝරාගත් ධර්මය
මිහිඳු හිමියන් විසින් දෙවනපෑතිස් රජ ඇතුළු පිරිවර බුදු සසුනෙහි පිහිටුවීමත් ( මහාවංශය, 14 පරිච්ඡේදය, 23 ගාථාව) රජුගෙන් තෙරුන් ගුණ අසා සිටි අන්ත:පුර ස්ත්‍රීන් වෙනුවෙන් රජ මාලිගාව තුළ කළ ධර්ම දේශනාවත් ( මහාවංශය, 14 පරිච්ඡේදය, 57 – 59 ගාථා), නුවර වැසියන් වෙනුවෙන් මාලිගාවේ ඇත් හළෙහි කළ ධර්ම දේශනාව( 14 පරිච්ඡේදය, 62 – 64 ගාථා), නුවර දකුණු දොරින් පිට පිහිටි නන්දන උයනේ කළ ප්‍රසිද්ධ ධර්ම දේශනාව ( 15 පරිච්ඡේදය, 3 -5 ගාථා) ඇතුළු මුල් දින සතක් තුළ කළ ධර්ම දේශනාමාලාවත් සමග ලක් වැසියෝ බුදු දහම විෂයෙහි වඩාත් රුචි වූ අයුරු පෙනේ. මේ ධර්ම දේශනාවන් ත්‍රිපිට ධර්මයෙන් ඉතා සැලසුම් සහගත ලෙස තෝරාගත් ඒවාය.
මිහිඳු හිමියන් විසින් ලක්වැසියන් වෙනුවෙන් දේශනා කිරීමට තෝරාගත් සෑම දේශනාවක්ම රජු ප්රමුඛ ජනතාවගේ ප්‍රායෝගික ජීවිතයේ යථාර්ථය ස්ඵර්ශ කරන සූත්‍ර ධර්මයන්ය. යහපත් මිනිසුන් ලෙස ජීවත්වීමට රට වැසියාට දැක්මක් ලබා දෙන අතර රජ තුමා ධාර්මිකවීම රට වැසියාගේ අභිවෘද්ධියට ප්‍රධානම හේතුව බව මහින්ද දේශනාවන්හි මුඛ්‍ය හරය වී තිබිණි. ( වජිරඤාණ හිමි හොරණ, අපේ සංස්කෘතික උරුමය, මහින්ද දේශනා , 80 පිටුව). ජන ජීවිතයේ යථාර්ථය විනිවිදින මෙවැනි ප්‍රායෝගික ධර්මයක් සබුද්ධික ජන සමාජයක් අතර වේගයෙන් ප්රචලිතවීම පිළිගත හැකිය.
මහාවංශ ප්රවෘත්ති ප්‍රකාරව ලක්වැසියෝ අතිශය සීඝ්රයෙන් මේ නව ආගමික සම්ප්‍රදායට ආශක්ත වූහ. ලක්දිව ඒකාකාරව බුදු සමය පැතිරුණේය. මේ බව පුරාවිද්‍යාත්මකව සනාථ කරන්නේ ක්‍රිස්තු පූර්ව 3 සියවසේ සිට ඇරඹී යුගයෙන් යුගයට පරිණාමයවන අක්ෂර සහිතව ලක්දිව පුරාම පැතිරී ගිය ආරාම පූජා, ලෙන් පූජා විෂයෙහි ලියැවෙන සෙල්ලිපි මාලාවය. (ඩයස් මාලනී, බෞද්ධ සංකෘතික ලේඛණ – 1999, බුදු දහම ලක්දිව ඒකාකාරව පැතිරීම පිළිබඳ පුරාවිද්‍යාත්මක සාධක ලිපිය, 1-8 පිටු)
තුන්වන ධර්ම සංඝායානවට මුල් වූ මහා පැණවත් මොග්ගලීපුත්ත තිස්ස හිමියන් සමීපයෙහි ශික්ෂණය ලබමින් අටුවා සහිත ත්‍රිපිටක ධර්මයත් විනයත් හදාරා ධර්ම විනය විෂයෙහි විශාරද වූ මිහිඳු හිමියන් දෙවන පෑතිස් රජු හා එක්ව මෙසේ ලක්දිව ආරම්භ කරනුයේ විනයධර භික්ෂු පරපුරක් සඳහා පසුබිමය. මහාවිහාර සම්ප්රදාය වූයේ එයයි. සමන්තපාසාදිකාවට අනුව මහාවිහාර ස්ථවිරවාදයේ මූලික ලක්ෂණය වූයේ බුදුන්වහන්සේ යම් ධර්මයක් හෝ විනයක් දෙසන ලද්දෙද එවා ඒ අයුරින්ම අකුරක් පිල්ලක් වෙනස් නොකර හදාරා පවත්වාගෙන යෑමය. පුරා අවුරුදු 2300 ක් තිස්සේ විවිධ අභියෝග ජයගනිමින් සිංහල භික්ෂූහු මේ මහා සම්ප්රදාය රක්ෂා කරති.







