අසේල කුරුළුවංශ –
මහනුවර දිස්ත්‍රික්කයේ අයිස් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම 2024 වසරට සාපේක්ෂව 2025 දී පස් ගුණයකින් ඉහළ ගොස් තිබෙන බව පොලීසිය පවසයි.
අයිස් මත්ද්‍රව්‍ය ග්රෑම් 648 ක් 2024 දී අත්අඩංගුවට ගෙන තිබෙන අතර එම ප්‍රමාණය පසුගිය වසරේදී කිලෝ 03 යි ග්රෑම් 23 ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිසිය කියයි.
මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී දළදා මාලිගා පොලීසිය හැරුණු විට ස්ථාපිත සෙසු පොලිස් ස්ථාන 30 මගින් මෙම වැටලීම් සිදුකර තිබේ.
මහනුවර දිස්ත්‍රික්කයට අයත් මහනුවර, ගම්පොළ හා තෙල්දෙණිය පොලිස් කොට්ඨාස වල 2024 දී අත්අඩංගුවට ගන්නා ලද හෙරෝයින් ප්‍රමාණය කිලෝ ග්රෑම් 02 යි ග්රෑම් 814 කි. එය පසුගිය වසරේදී කිලෝ 04 යි ග්රෑම් 411 දක්වා ඉහළ ගොස් තිබේ. එහිදී වැඩිම හෙරෝයින් අත්අඩංගුවට ගැනීම් වාර්තා වී තිබෙන්නේ මහනුවර කොට්ඨාසයෙනි.
වැටලීම් 2678 ක් මගින් 2024 දී හෙරෝයින් කිලෝ ග්රෑම් 02 යි ග්රෑම් 34 ක් මහනුවර කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන අතර 2025 දී එම සංඛ්‍යාව වැටලීම් 3544 ක් මගින් කිලෝ ග්රෑම් 03 යි ග්රෑම් 253 ක් ලෙස ඉහළ ගොස් තිබේ.
පසුගිය වසරේදී මහනුවර දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන මගින් සිදුකළ වැටලීම් ඔස්සේ අත්අඩංගුවට ගන්නා ලද සමස්ත හෙරෝයින් ප්‍රමාණයෙන් කිලෝ ග්රෑම් 03 යි ග්රෑම් 253 ක් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මහනුවර පොලිස් කොට්ඨාසයෙනි. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් 413 දෙනෙකු 2025 වසරේදී පුනරුත්තාපනය සඳහා යොමුකර තිබෙන බවත් ප්‍රජා විශෝධනයට 397 දෙනෙකුද උපදේශනයට 335 දෙනෙකුද ප්‍රතිකාර සඳහා 274 දෙනෙකුද යොමු කළ බව පොලීසිය පවසයි.
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීමේ අවදානම ඇති දරුවන් 74 දෙනෙකුද ඇබ්බැහිවීමේ දැඩි අවදානම ඇති දරුවන් 14 දෙනෙකු ද ඇම්බැහිවූ දරුවන් 17 දෙනෙකුද පසුගිය වසරේ හඳුනාගත් බව මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පවසයි.
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන රටම එකට ජාතික මෙහෙයුම් වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික් සභාව පිහිටුවීම නිමිත්තෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැති රැස්වීමේදී මෙම තොරතුරු අනාවරණය විය.







