මහනුවර අධික වාහන තදබදයට විකල්පයක් වශයෙන් පසුගිය රජය සමයේ ක්‍රියාත්මක කිරීමට ගොස් අතරමග නවතා දැමූ සුදුහුම්පොල සිට අම්පිටිය හරහා තැන්නේකුඹුර දක්වා ද්විත්ව උමං මාර්ගයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් කොට තිබේ.
මහනුවර නගරයේ වාහන තදබදය අවම කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මැදිහත්වීම මත කොරියානු ආධාර සහිතව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.
කිලෝමීටර් 5.5ක් දිගැති මෙම ද්විත්ව උමං මාර්ගය ප්‍රවේශ ස්ථාන හතරකින් යුක්ත යැයි මාර්ග සංර්ධන අධිකාරය සඳහන් කරයි.
දෙයියන්නේවෙල සිට සුදුහුම්පොල දක්වා මීටර් 900ක්, සුදුහුම්පොල සිට බෝගම්බර දක්වා මීටර් 660ක්, බෝගම්බර සිට අම්පිටිය රතුබෝක්කුව අසලට මීටර් 1120ක් සහ රතු බොක්කුව අසල සිට තැන්නේකුඹුර දක්වා මීටර් 1680ක් වශයෙන් මෙම මාර්ගය සංවර්ධන වේ.
තැන්නේකුඹුරේ සිට මහනුවර දක්වා පැමිණෙන සියලුම වාහන සඳහා මෙම උමං මාර්ගය භාවිතා කළ හැකි අතර කොටස් හතරකින් සමන්විත ස්ථානවලින් බැහැරවීමේ හා ප්‍රවේශවීමේ පහසුකම් සලසා තිබේ.
ඇමරිකානු ඩොලර් මිලියන 252ක ඇස්තමේන්තු ගත මෙම ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 199ක මුදලක් කොරියානු ආධාර වශයෙන් හිමි වන අතර සෙසු මුදල දරනුයේ ශ්‍රී ලංකා රජය විසිනි.
මෙම උමං මාර්ගය ලබන වර්ෂයේදී ආරම්භ වී වර්ෂ 2026දී නිම කිරීමට නියමිත යැයි මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩබ්.එම්.ගුණසිංහ පැවසීය.
මහනුවර නගරයේ අධික රථවාහන තදබදයට පිළියමක් ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සහ මොරටුව විශ්ව විද්‍යාලයීය පර්යේෂකයින් පිරිසක් විසින් 2011 වසරේ දී කරන ලද අධ්‍යයනයකදී මෙම උමං මාර්ග ඉදිකිරීමේ යෝජනාව ඉදිරිපත් කර තිබිණි.
මෙකී උමං මාර්ග ව්‍යාපෘතිය 2017 ජූලි මාසයේදී ආරම්භ කිරීමට නියමිතව තිබූ අතර ඊට කැබිනට් අනුමැතිය ලැබී තිබුණේ 2017 අප්‍රේල් මාසයේදීය. මහා මාර්ග අමාත්‍යාංශය හරහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මෙය ක්‍රියාත්මකයාත්මක කිරීම සඳහා සියල්ල සැලසුම් කර තිබූ අතර මූලික ශඛ්‍යතා අධ්‍යයන කටයුතු මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශය විසින් සිදුකරනු ලැබ තිබිණි
උමං මාර්ගය ඉදි කිරීමට සැලසුම් කොට ඇති ප්‍රදේශයේ පාෂාණ ස්ථරය හරහා භූමිය මතුපිට සිට පහළට විහිදෙන පැළුම් හා දුර්වල ස්ථාන තිබේද යන්න විමර්ශනය කර බැලීමත් උමග හෑරීමේ දී බලපෑමක් වන දුර්වල පාෂාණ ස්ථර හඳුනාගැනීමක් ද සිදුවිය.
එම ඉදි කිරීමෙන් සිදුවන පාරිසරික හානි සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් විසින් කරන ලද විරෝධතාවයන් සලකා බලා එය තාවකාලිකව නතර කිරීමට එවකට සිට මහා මාර්ග අමාත්‍යවරයාට සිදුව තිබිණි.
මේ වනවිට නැවතත් ඒ පාරිසරික ශඛ්‍යතා අධ්‍යයනයන් ආරම්භ වී ඇතැයි වාර්තා වේ.







