මනම්පිටිය නිමල් ජයරත්න –
ජපානයේ සරසවි සිසුන් පිරිසක් ළොන්නරුව වැලිකන්ද සුසිරිගම ගම්මානයේ දුෂ්කර මාර්ගයක් සිය ශ්‍රමය හා මූල්‍ය දායකත්වය යොදාගෙන දින හතක කාලයකින් කොන්ක්‍රීට් කිරීමෙන් පසු එම මාර්ගයේ ජනතා අයිතියට පත් කිරීමේ ආදර්ශමත් සිදුවීමක් ඊයේ (22) සිදුවූයේය.
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර, සුසිරිගම ශ්‍රී සාමවර්ධනාරාමාධිපති පූජ්‍ය සුසිරිගම සංඝරක්ඛිතාලංකාර, අලුත්වැව ශ්‍රී සුදර්ශනාරාමාධිපති පූජ්‍ය වලස්වැවේ චන්ද්‍රරතන නාහිමිවරුන්ගේ ආශිර්වාද මැද මෙම මාර්ගය ජනතාව වෙනුවෙන් විවෘත වූයේය.
ජපන් සරසවි සිසුන් පිරිස පසුගිය 15 වෙනිදා මෙම මාර්ගය කොන්ක්‍රීට් කිරීමේ කටයුතු ආරම්භ කළ අතර මීටර් පනහක් කොන්ක්‍රීට් කිරීම සඳහා සිමෙන්ති මැටල් සහ වැලි සඳහා වැය වී ඇත්තේ රුපියල් ලක්ෂ දෙකහමාරක පමණ මුදලක් බවත්, රජය මගින් මෙය සිදුකළා නම් රුපියල් ලක්ෂ දහයක මුදලක්වත් ඇස්තමේන්තු කරන බව මෙහිදී අදහස් දැක් වු වැලිකන්ද සුසිරිකම ශ්‍රී සාමවර්ධනාරාමාධිපති පූජ්‍ය සුසිරිගම සංඝරක්ඛිතාලංකාර නාහිමියෝ සඳහන් කළහ.
ජපන් රටේ ගුඩ් ආයතනය මගින් ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කිරීමට මැදිහත් වී තිබුණේ සත්ජන පවුර සමාජ සත්කාරක පදනම නිර්මාතෘ වලස්වැවේ චන්ද්‍රරතන නා හිමියන්ය.
දින 14 ක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටි ජපානයේ සරසවි සිසුන් පහලොස් දෙනෙකු ගම්මානයේ නිවාස පහළොවක රැඳී සිටි අතර එම දින කිහිපය පුරා ඔවුන්ට අවශ්‍ය ආහාර පාන සහ සියලු පහසුකම් එම නිවැසියන් විසින් සලසා දී තිබිණි.
ඔවුන් මෙරටින් පිටව යෑම සම්බන්ධයෙන් විශේෂ උත්සවයක් සුසිරිගම ශ්‍රී සුදර්ශනරාමයේදී පැවැති අතර එහිදී ඔවුන් සහ සුසිරිගම ගම්මානයේ දූ දරුවන් විසින් නැටුම්, ගීත,ගායනා කරමින් සතුටු වූහ.
මෙහිදී ශ්‍රී ලංකා ජාතික ගීය ගායනා කරන අවස්ථාවේදී ජපන් විශ්ව විද්‍යාල සිසුන් මහත් සංවේදීතාවයට පත් වූ අතර, ඔවුන් සමු ගන්නා මොහොතේ, සුසිරිගම ගම්වාසීන් මව්වරුන් පියවරුන් දූ දරුවන් වැළඳගනිමින් හඬා වැලපී අතිශයින්ම සංවේදී වීම විශේෂත්වයක් විය.

මෙහිදී අනුශාසනාවක් සිදු කරමින් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළේ, ජපන් විශ්ව විද්‍යාල සිසුන් දින කිහිපය පුරා සිටිමින් දුෂ්කර මාර්ගයක් ඉදිකිරීම මෙරටේ විශ්වවිද්‍යාල සිසුන්ට සහ ආනගතයේ මේ ජාතිය භාර ගැනීමට සිටිනා දරුවන්ට මහත් ආදර්ශයක් බවය.







