මනම්පිටිය නිමල් ජයරත්න –
මනම්පිටිය ගම්මානයට අද ( 04 ) උදෑසන හතට පමණ කඩා වැදුණු වන අලියෙකු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කැබ් රියකටද පහරදී, නැගෙනහිර මනම්පිටිය විහාරස්ථානයේ ප්‍රතිමා දෙකකට ද හානි සිදුකර තවත් නිවාස තුනක් කඩා බිඳ දමා ඇති බව නැගෙනහිර මනම්පිටිය ගම්වාසීහු සඳහන් කරති.
මෙම වන අලියා නැගෙනහිර මනම්පිටිය ගම්මානයට කඩා වැදීමත් සමග ගම්මු හිස්ලූ ලූ අත දිව ගොස් ඇති අතර කීපදෙනෙකු ජීවිත බේරා ගෙන ඇත්තේ අනූ නවයෙනි.
මේ පිළිබඳ ගම්වාසීන් විසින් වනජීවී කාර්යාල නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන් වහා ක්‍රියාත්මක වී කැබ් රථයකින් ගමට පැමිණීමත් සමඟ වන අලියා සැඟව සිටිමින් කැබ් රථයට ද පහරදී ඇත. එහිදී රියදුරු ද බේරී ඇත්තේ අනූ නවයෙනි.
අනතුරුව මෙම වන අලියා අසල කැලෑවෙන් වැසී තිබූ ගෙවත්තකට ගොස් වරින් වර ගම්මුන් පිටුපස පැන්වීමට කටයුතු කළද, වන අලියා පලවා හැරීමට පැමිණි වන ජීවී නිලධාරීන්ට හතර වෙනිදා සවස වන විටත් වන අලියා වනාන්තරයට පන්නා දැමීමට නොහැකි විය.
මෙම තනි අලියා දින කිහිපයක් පුරා නැගෙනහිර මනම්පිටිය ගම්මානයේ පමණක් නිවාස 30 කට ආසන්න ප්‍රමාණයක් හානි කර ඇති අතර 04 වෙනිදා උදෑසන කාලයේ විහාරස්ථානයේ අසූ මහා ශ්‍රාවක පිළිම වහන්සේ දෙනමකට සහ ගම්මානයේ නිවාස තුනකට හානි කර තිබේ.
මෙම වන අලියා අල්ලා වෙනත් ප්‍රදේශකට රැගෙන යාමට අදාළ බලධාරීන්ගෙ අවධානය යොමු කරන ලෙස නැගෙනහිර මනම්පිටිය ගම්මානයේ ගම්වාසීහු විසින් ඉල්ලීමක් කළහ.
මෙම වන අලියා පලවා හැරීමට පැමිණි වනජීවි නිලධාරින් සඳහන් කළේ, අලියා පලවා හැරීම සිදු කිරීමට හැකිවන්නේ, සවස තුනෙන් පසුව බවය.
ඒ අනුව ජීවිත හා දේපළ වලට හානි නොවන අයුරින් අලියා පලවා හැරීමට සවස තුනෙන් පසුව කටයුතු කරන බවද,වනජීවී නිලධාරීහු සඳහන් කළහ. වන අලියා විනාශ කළ ත්‍රීවිල් රථයක් පහත දැක්වේ.







