ලලිත් චාමින්ද
-
පාසල් ක්‍රිකට් සංගමයේ 13න් පහළ කණ්ඩායමේ දරුවෙකුගේ නමින් 15න් පහළ දරුවෙක් ක්‍රීඩා කරවලා… මේ ගැන කට හෙල්ලුවොත් කණ පලනවා කියලා දරුවාට තර්ජනය කරලා…
-
දරුවාගේ පියාඒ ගැන විමසන විට දරුවාගේ නිවස ඉදිරිපිට මල්වඩම් තියලා… මරණ තර්ජන සහිත පෝස්ටර් ගහලා….
-
නිවසේ වාහනයේ ඉදිරි වීදුරුව ගල් ගසා කුඩු කරලා… දරුවාගේ තාත්තට කණ්ඩාමක් ගෙන්වා පහර දෙන්න හදලා… පාසලට ගියාට පස්සෙ කණ්ඩායමේ දරුවන් ලවා දරුවාට ගස්සවලා… දරුවා පාසල් යන්න බෑ කියනවා….
පාසල් ක්‍රිකට් සංගමය විසින් පවත්වන 2024-2025 වයස අවුරුදු 13 පහල තරඟාවලියේ නියමිත ක්‍රීඩකයා වෙනුවට එම නමින් වෙනත් වැඩිමහල් ක්‍රීඩකයෙකු ක්‍රීඩා කරවා , එසේ ක්‍රීඩා කරවීම සම්බන්ධයෙන් නියම ක්‍රීඩකයාගේ විසින් පුහුණුකරු ගෙන් විමසීමෙන් පසු දරුවාගේ පියා ට මරණ තර්ජන කරමින් නිවස ඉදිරිපිට පෝස්ටර් ගසා , මල් වඩම් දමා ගිය පුවතක් ගාල්ලෙන් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්දිය සැකවින් මෙසේය,
පසුගිය නොවැම්බර් මස 07 දින ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය හා මාතර රාහුල විද්‍යාලය අතර වයස අවුරුදු 13 පහල පලමු කොටසේ ඒ කාණ්ඩයේ තරඟයක් මාතර සනත් ජයසුරිය ක්‍රීඩාංගණයේ දී පැවැත් වී ඇත. එම තරඟයේ පලමුව පන්දුවට පහර දී ඇත්තේ ගාල්ල විද්‍යා ලෝක විද්‍යාලයයි. ඒ අනුව ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයීය කණ්ඩායම තරඟ කොන්දේසි අනුව තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම නම් කර ඇත.
එම කණ්ඩායමට මේ කතාවේ වින්දිතයාවන යු.ජී. හිමාෂ නෙත්සර දරුවාගේ නම ඇතුළත් වී තිබේ. දරුවා ද කණ්ඩායම සමඟ සිට ඇත. පසුව කණ්ඩායමේ පුහුණුකරු එක් වරම පැමිණ හිමාෂ ට අයත් අංකය සහිත ජර්සිය එම පාසලේ 15 පහළ ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකු ට අන්දවා එම දරුවා ට, පා ආවරණ පැලදින ලෙස උපදෙස් දී තිබේ.
ඒ අනුව යු.ජී හිමාෂ නෙත්සර ගේ නම යටතේ එම පාසලේ 15 පහළ වෙනත් ක්‍රීඩකයෙකු කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිස ඇත. එම අවස්ථාවේ කණ්ඩායමේ පුහුණුකරු කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්ට පවසා ඇත්තේ අදාල වැඩිමහල් ක්‍රීඩකයාට හිමාෂ ගේ නම සදහන් කරමින් චියර් කරන ලෙසය. එසේම නියම හිමාෂට ද තමාගේ නම කියමින් මේ වන විට පන්දුවට පහර දෙමින් සිටින වැඩිමහල් ක්‍රීඩකයාව දිරිගන්වන ලෙස පුහුණු කරු පවසා ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුව නියම හිමාෂ ඔහුගේ ම නම කියමින් ඔහු වෙනුවට පන්දුවට පහර දෙන ක්‍රීඩකයා දිරිගන්වා ඇතැයි වාර්තා වෙයි. මෙම තරඟයේ දී විද්‍යා ලෝක විද්‍යාලය පන්දුවාර 49.2 ක දී සියළු ක්‍රිඩකයින් දැවී ලකුණු 100 ක් ලබා ගෙන ඇත. එම ලකුණු 100 න් ලකුණු 30 ක් ලබා ගෙන ඇත්තේ යු.ජී. හිමාෂ ගේ නමින් පන්දුවට පහර දුන් වැඩිමහල් ක්‍රීඩකයාය. ඔහු ආරම්භක පිතිකරුවා ලෙස පැමිණ පන්දු 87 කදී ලකුණු 30 ලබා ගෙන ඉනිමේ 6 වන කඩුල්ල ලෙස දැවී ගොස් ඇත.
කෙසේ නමුත් මෙම තරඟය රාහුල විද්‍යාලය කඩුලු 6 ක් දැවී ලකුණු 102 ලබා ගනිමින් කඩුලු 04 කින් ජයග්‍රහණය කර ඇත.
තරඟයෙන් පසුව නිවසට පැමිණි හිමාෂ නෙත්සර දරුවා මේ සම්බන්ධයෙන් තම පියාට පවසා තිබේ. ඒ අනුව දරුවා ගේ පියා පාසලෙන් සහ පුහුණු කරුගෙන් එය සිදුවූයේ කෙසේ දැයි විමසා ඇත.
ඉන්පසුව සිදු වු දේ සම්බන්ධයෙන් මාධ්‍ය විමසීමේ දී යු.ජී. හිමාෂ නෙත්සර දරුවාගේ පියා වන කුමාර අප සමඟින් මෙසේ පැවසීය,
“මට දරුවා සිද්ධිය කිව්වා. මම ඊට පස්සේ මේ සම්බන්ධයෙන් පුහුණුකරුගෙන් විමසා සිටියා, ඔහු ඒ වෙලාවේ ඉඳන්ම මට තර්ජනය කරනවා. ඒවා ඔයාලට වැඩක් නෑ. අනවශ්‍ය දේවල් හොයන්න එන්න එපා කියලා. කොහොම හරි ඔය සිද්ධියෙන් පස්සේ දවසේ මාගේ ගෙදර නවත්වලා තිබුණු වෑන් රථයේ ඉදිරිපස වීදුරුව කැඩෙන්න ගලකින් ගහලා තිබුණා. හැබැයි මම ඒක මේකට අදාලව කියලා හිතුවේ නෑ. පස්සේ නොවැම්බර් 15 උදේ නැගිටින කොට මගේ නිවස ඉදිරිපිට පෝස්ටර් ගහලා තිබුණා. ඒවයේ මෙහෙම සදහන් වුනා,” 
“දෙයක් කරද්දී දෙපාරක් හිතපන්… පස්සේ පසුතැවෙන්න වේවි… කොන්ඩ කුරුල්ලෝ උඹ හිතන දේවල් මෙහේ කරන්න බැරිවේවි. උඹට එහෙම වුනොත් ගමෙනුත් යන්න වේවි .පරිස්සමින් හිටපන්… බද්දේගම ගොන් පාට් මෙහේ දාන්න එපා… එහෙම වුනොත් උඹට අඩි 6 ක් යට ඉන්න වේවි…, යන යන තැන කියවන එක නවත්වපන් කට කපනවා.”
“මෙහෙම පෝස්ටර් ගෙදර ඉදිරිපස තිබුණා. එදා මල් වඩමක් ද ගෙදර ඉස්සරහ තියලා තිබුණා. ඊට පස්සේ මට පුහුණු කරු හමුවුනා ගාල්ල දෙවෙට ප්‍රදේශයේ දී. මම නැවත මේ ගැන ඇහුවා. මල් වඩම් ගැනත් ඇහුවා. එතකොට කිව්වා ඉස්කෝලෙට එන්න කියලා. මම ගියා. ඒ වෙලාවේ මට ගහන්න කියලා කීපදෙනෙක් පාසලේ ගේට්ටුව ලඟට ගෙනල්ලා තිබුණා. ”
“මේ සිද්ධිය ගැන විදුහල්පති තුමාට කිව්වා. විදුහල්පති තුමා කිව්වා පොලිසියට පැමිණිලි කරන්න කියලා. ඊට පස්සේ ගාල්ල පොලිසියට පැමිණිලි කළා. පොලිසිය කැඳවලා පරීක්ෂණයක් කළා. පෝස්ටර් සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලිසියේ පැමිණිලි කරන්න කියලා කිව්වා. ඒ අනුව වරාය පොලිසියට පැමිණිලි කළා. වරාය පොලිසියෙන් දෙපාරක් මම හා පුහුණුකරු ගෙන්වා පරීක්ෂණ කළා. හැබැයි පුහුණුකරු පිලිගත්තේ නෑ වෙන දරුවෙක් ගැහුවේ කියලා. ”

“ඊට පසසේ මේ සම්බන්ධයෙන් මුකුත් වෙන්නේ නැති නිසා මම යලිත් විදුහල්පතිතුමාට කතා කළා. එතුමා කිව්වා මම මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළා. හිමාෂ වෙනුවෙන් පන්දුවට පහර දීපු දුමිඳු කියන දරුවා පිළිගත්තා එයා තමයි තරගයට ගියේ කියලා. ඒ වගේම පුහුණුකරුත් පිළිගත්තා ඒ වැරැද්ද වුනා කියලා. ඒ අනුව දැන් දරුවා ආයිත් පුහුණු වීම් වලට එවන්න කියලා.”
“නමුත් ආයිත් පුහුණු වීම් වලට යැව්වාම මගේ දරුවාට ටීම් එකේ අනිත් ළමයි ගහලා තියනවා. අනේ ඒ ළමයින්ට උගන්වලා අපේ දරුවා පොලිසි ගිය නිසා එයාට ගහන්න කියලා. මගේ ගෙදර ඇවිල්ලා කාලා බීලා ඉන්න ළමයි තමයි එහෙම කරන තැනට පුහුණුකරු පත් කරලා තියෙන්නේ. ”
“පුහුණුකරුවා වරද පිළිගත්තා , අනිත් දරුවා පන්දුවට පහර දුන්නා කියලා පිලිගත්තා කියලා විදුහල්පති තුමා මා එක්ක කියපු රෙකෝඩින් මා ලඟ තියනවා. දැන් මට මගේ දරුවා පාසල් යවන්න බැරි තත්වයකට පත් වෙලා තියනවා. කණ්ඩායමේ පුහුණු වීම් වලට යවන්න බැරි වෙලා තියනවා. අනේ කරුණාකරලා මට මේ සදහා විසදුමක් ලබා දෙන්න. ”
“දැන් දරුවා හොදටම බය වෙලා ඉන්නේ. මේ මැච් එක වෙලාවෙ පුහුණුකරු දරුවාට කියලා තියනවා මේ ගැන ගෙදර ගිහිල්ලා කිව්වෝතින් කන පැලෙන්න ගහනවා කියලා. හැබැයි වරාය පොලිසියේ ස්ථානාධිපතිතුමා මගේ දරුවාගෙන් අහුවාම ස්ථානාධිපතිතුමාට මගේ දරුවා ඒ විස්තරය කිව්වා. මම මේ සම්බන්ධයෙන් පාසල් ක්‍රිකට් සංගමයට පැමිණිලි කළා. හැබැයි විද්‍යා ලෝක විද්‍යාලයේ ක්‍රිකට් භාර ආචාර්ය මනතුංග මට බැන තර්ජනය කළා ඒ පැමිණිල්ල ඉවත්කර ගන්න කියලා. ඒ කියපු ඒවායේ හඩ පටත් මා ලඟ තියනවා.”
මේ සම්බන්ධයෙන් සාධාරණය තමයි මම බලාපොරොත්තු වෙන්නේ.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අප ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ විදුහල්පති ප්‍රසන්න සෙනවිරත්තගෙන් විමසීමේ දී ඔහු මෙසේ පැවසීය,
“මේ සම්බන්ධයෙන් අපි පරීක්ෂණයක් කරගෙන යනවා. දැනට 13 පහල ක්‍රිකට් පුහුණු වීම් නවත්වලා තියෙන්නේ. මේ පරීක්ෂණය ඉවර වෙනතුරු. පුහුණුකරුවා පිළිඅරගෙන නෑ, වෙන දරුවෙක් යොදාගෙන පන්දුවට පහර දුන්නා කියලා. එහෙම දෙයක් ඔප්පු වුනොත් අපි ඒ සඳහා දඩුවම් ලබා දෙනවා. පාසල් ක්‍රිකට් සංගමය පැත්තෙනුත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් යනවා. ඒ අනුව සිද්ධිය ඔප්පු වුනොත් අදාල අයට නිසි දඩුවම් ලබා දෙන්න අපි පැකිලෙන්නේ නෑ.”








