ඉඳුනිල් කහටපිටිය –
-
ජයවර්ධනපුර රෝහලේ දරුවාගේ මරණය සිදුවන්නේ නොසැලකිලිමත්කම නිසා බවට තහවුරුවන තොරතුරු රැසක්…
-
වෛද්‍යවරු ඇතුළේ ඇණකොටා ගන්නා මට්ටමක… රෝගියෙකුගේ වකුගඩු දෙකම ගලවා දමා සැත්කම ප්‍රතික්ෂේප කළ කුප්‍රකට වකුගඩු දොස්තර ගැනත් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නෑ…
-
රුධිර කාන්දු පෙරණ ඒකකය වසා දමලා… විෂබීජයක් ගොස් ඇතිදැයි සැකයක්… කියන කිසිම දේකට ඉහළ දේශපාලන අධිකාරියේ සිට කිසිවෙක් ඇහුම්කන් දෙන්නෙ නෑ….
-
කොයි වෙලේ බැලුවත් රෝහලේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ විශේෂඥ වෛද්‍යවරු මාලිමා වෘත්තීය සමිති නායක විදුලි කාර්මිකයාගේ කාමරයේ… රෝහල් සේවකයෝ කියති…
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය නිසි ක්‍රමවේදයට පත් කර නොමැති වීම ඇතුළු කරුණු ගණනාවක් නිසා රෝහල් කටයුතු මේ වන විට අයාලයේ යමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
සම්මත පටිපාටියට අනුව ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා විෂයභාර අමාත්‍යවරයා විසින් සාමජිකයන් 8 දෙනෙකුගෙන් සැදුම්ලත් අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කළ යුතුය. මේ අනුව සභාපතිවරයා, අමාත්‍යංශයේ නියෝජිතයෙක්, මුදල් අමාත්‍යංශයේ නියෝජිතයෙක් රෝහලේ සාමජිකයින් අතරින් තෝරා ගනු ලබන පුද්ගලයින් තිදෙනෙක්, සිය වෘත්තියෙලා විශිෂ්ඨ සේවාවන් කර ඇති පුද්ගලයින් දෙදෙනෙකුගෙන් රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලට සමන්විය විය යුතුය. ඒ බව 1983 අංක 54 දරණ ශ්‍රී ජයවර්ධනපුර මහාරෝග්‍යශාලා මණ්ඩල පනත මගින් නීතියක් ලෙස තහවුරු කර තිබේ.
එහෙත් රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලය මේ වන විට මෙම පනතට පටහැනිව කටයුතු කරන ආකාරය ගැන වාර්තා වෙමින් ඇත.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමත පත්වීම් වෛද්‍යවරුන් තිදෙදෙනෙක් එම කොමිෂන් සභාවට නොදන්වා, නිසි අනුමැතියකින් තොරව ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩල වෙත පත් කර තිබේ. සභාපතිවරයා ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකි. අගමැති තුමිය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙහෙයවූ වකවානුවේ දී මෙම විශේෂඥ වෛද්‍යවරයා රෝහල් සභාපති තනතුර වෙත නම් කර තිබිණි. කෙසේ වෙතත් ඔහු වෛද්‍ය පරිපාලන සේවයේ වෛද්‍යවරයෙක් නොවේ. එමෙන්ම නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සහ වැඩ බලන අධ්‍යක්ෂවරයා ද එම තනතුරුවලට පත් කරගෙන ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිසි අවසරයකින් තොරව බව වාර්තා වේ.
රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලටයට ඇතුළු වීමට රෝහල තුළ සේවය කරනු ලබන දක්ෂ නිලධාරින් තිදෙනෙකුට අවස්ථාව හිමි වේ. නමුත් එම අවස්ථාවන් තුනම ජාතික ජන බලවේගයට සහාය දැක්වූ විශේෂඥ වෛද්‍යවරුන් වෙත ලබා දී තිබේ.
සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන ඉහත විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙක් නිතරම දකින්නට ලැබෙන්නේ මෙම විදුලි කාර්මික නිලධාරීයාගේ කාමරය තුළ දී බව රොහල් සේවකයෝ අපට කීහ.
දරුවාගේ මරණය
රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලයේ ද සිටින මෙම එක් විශේෂඥ වෛද්‍යවරයෙකු පසුගියදා කුඩා දරුවෙකුට සිදුකළ සැත්කමකින් පසුව එම දරුවාට සිහිය නැවත නොපැමිණ මරණයට පත් වූ සිද්ධියට වගකිව යුතු වෛද්‍යවරයා ය.
ජයවර්ධනපුර රෝහල් ආරංචි මාර්ග පවසන්නේ මෙම මරණය සඳහා දැනට රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්නා අදාල සැත්කම කළ විශේෂඥ වෛද්‍යවරයා මෙන්ම එම අවස්ථාවේ සේවයට වාර්තා කර නොසිටි විශේෂඥ නිර්වින්ද වෛද්‍යවරුන් දෙදෙනා වගකිව යුතු බවය.
රෝහලේ විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරුන් සිවු දෙනෙක් දෛනිකව සේවය කළ යුතු වුවද එදින සේවයට වාර්තා කර තිබුණු බව කියන්නේ දෙදෙනෙක් පමණි. සේවයට වාර්තා නොකළ දෙදෙනා එසේ කර තිබුණේත් රෝහල් පරිපාලනයට නොදන්වා යැයි පැවසේ. එබැවින් දරුවාගේ මරණය සම්බන්ධව නිශ්චිත විධිමත් පරීක්ෂණයක් පැවැත්වුවහොත් මේ වෛද්‍යවරුන් දෙදෙනා ද බරපතල වරදකට කොටුවීමට නියමිතව ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
එහෙත් මේ සිද්ධිය සිදුවූ වහාම ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වුන අවස්ථාවේ දී අධ්‍යක්ෂවරයෙක් ද වන සැත්කම කළ විශේෂඥ වෛද්‍යවරයා දරුවා ජීවිතයෙන් වන්දි ගෙවූ වැරැද්ද නිර්වින්දන වෛද්‍යවරුන්ට කෙළින්ම පවරා තිබිණි. එහෙත් රෝහල් ආරංචි මාර්ග පවසන්නේ මෙම වෛද්‍යවරයාට ඒ අපරාධයෙන් ගැලවී යා නොහැකි බවය.
සාමාන්‍යයෙන් සැලසුම්කළ සැත්කමක් සිදුකරද්දී දරුවෙකු සඳහා එම සැත්කම් සැලසුම් කරන්නේ උදේ වරුවේ දී බවත් දරුවා පූර්ණ වශයෙන් නිර්වින්දනය කරන බැවින් විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ එම සැත්කම සිදුකළ යුතු බවත් පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේදය බව වෛද්‍ය තොරතුරු අනාවරණය කරයි.
මෙම දරුවාගේ සැත්කම සවස් වරුවේ නිර්වින්දන වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණයෙන් තොරව අදාල විශේෂඥ වෛද්‍යවරයාට විසින් සිදුකර තිබිණි.
ඇතිවූ හදිසි අසාත්මිකතාවය හේතුවෙන් හුස්ම ගැනීමට නොහැකිවන දරුවාට නිර්වින්දන වෛද්‍ය සහාය ලැබෙන විටත් දරුවාගේ මොළය මියගොස් තිබීමට වැඩි ඉඩකඩක් පැවති බවත් රෝහල් ආරංචි මාර්ග කියයි.
එහෙත් දරුවා නිර්වින්දනය කර සැත්කම කළබවට ඇඟවෙන ආකාරයට සැත්කම නිමා කර ඇතැයි සැක කළ හැකි බවත්, අමාත්‍යාංශ මට්ටමේ නිශ්චිත විමර්ශනයක් සිදුකරන්නේ නම් ඒ සම්බන්ධව පැහැදිලි නිගමනයකට පැමිණිය හැකි බවත් එම ආරංචි මාර්ග පවසයි.
විෂ බීජයක් ගිහින් රුධිරකාන්දු පෙරණ ඒකකය වසා දමයි…
මේ වනවිට ජයවර්ධනපුර රෝහලේ රුධිර කාන්දු පෙරණ ඒකකයට විෂබීජයක් ඇතුලු වී ඇතැයි සැකයෙන් එම ඒකකය තාවකාලිකව වසා දමා තිබේ.
පසුගිය දින කීපය තුළ රුධිර කාන්දුපෙරණ ප්‍රතිකාරයට ලක් කල රෝගීන් සියල්ලන්ටම පාහේ මේ වන විට උණ රෝගය වැළඳී අති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබී තිබියදීත් මිලදී ගැනීමේ ක්‍රියාවලිය සිදු නොකළ නව රුධීර කාන්දු පෙරණ යන්ත්‍රය මේ වනවිට රෝහලට ගෙනැවිත් ඇත. එය තවමත් ස්ථාපිත කර නැත.
වකුගඩු ශල්‍ය ඒකකය තුළ විශේෂඥ වෛද්‍යවරුන් හැසිරෙන ආකාරය බරපතල ඛේදවාචයක්ව ඇතත් එම තත්ත්වයට තවමත් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නැත. රෝගී කාන්තාවකගේ වකුගඩු යුගලයම ගලවා දමා ඇයට වකුගඩු බද්ධ සැත්කම කිරීම ප්‍රතික්ෂේප කර ඇයට රුපියල් ලක්ෂ 10කට වඩා වැඩි මිලක් වැය කරවා රුධිර කාන්දු පෙරණ වාර 52ක් කිරීමට සැලැස්වූ කුප්‍රකට විශේෂඥ වෛද්‍යවරයා සම්බන්ධව අමාත්‍යාංශ මට්ටමින් සිදුකරමින් තිබූ විමර්ශනය යට ගසා තිබිණි. මේ සෞඛ්‍ය ලේකම්වරයා ද පාලිත මහීපාල මෙන් මේ නින්දිත අපරාධය සම්බන්ධව මුණිවත රකිමින් ඇත.
කෙසේ නමුත් රෝහලේ දැනට ඇති වි තිබෙන බව කියන ප්‍රශ්නකාරී තත්ත්වය පිලිබඳව කරුණු පැහැදිලි කරගැනීමට ලංකාසර කීප විටක්ම රෝහල් අධ්‍යක්ෂවරයාව දුරකථනය මගින් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය ව්‍යයර්ථ විය.







