මනම්පිටිය නිමල් ජයරත්න –
මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සීග්‍රගාමී දුම්රියට වැලිකන්ද පුල්ලියාර අඩි ප්‍රදේශයේදී අද රාත්‍රි 8.30 ට පමණ වන අලියෙකු ගැටිමෙන් එම වන අලියා දුම්රිය මාර්ගයේම ජීවිතක්ෂයට පත් වී තිබේ.
මේ හේතුවේන දුම්රිය ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති බව වැලිකන්ද වනජීවි කාර්යාල පවසයි.
මීට පෙරද මෙම ස්ථානයේම වන අලි ගැටීම නිසා වන අලි ගණනාවක් ජීවිතක්ෂයට පත් වී තිබිණි. නිරන්තරයෙන්ම මෙම ස්ථානය හරහා සෝමාවතිය හා මාදුරුඔය වනෝද්‍යාන අතර වන අලි මාරු වන බව වැලිකන්ද වනජීවී නිලධාරීහු සඳහන් කරති.
වැලිකන්ද අඩවි සහකාර කේ.ඩි.ජානක පැවසුවේ දුම්රිය මාර්ගයේ දුම්රියට යට හිර වී සිටින මියගිය අලියා කඹ යොදා ඉවත් කිරිමට පැය කීපයක් ගතවන බවය.
මෙම තත්වය නිසා දුම්රිය කොළඹ දක්වා ගමන් කිරිමට පැය කීපයක් ප්‍රමාද වනු ඇති බවද දුම්රිය බලධාරීහු සදහන් කරති.
දුම්රිය දෙපාර්තමේන්තුවෙ නිලධාරීන් ,වනජිවි නිලධාරීන් ,,පොලිසිය එක්ව දුම්රියේ ගැටි මියගොස් හිරවී සිටින වන අලියා ඉවත් කිරිමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක අප කළ විමසීමකදී පැවසීය.







