අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙස නම් කර ඇති බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ලොකු පැටී නමැති පාතාල අපරාධකරුවා විසින් බන්ධනාගාරයේ සිට ජංගම දුරකතන ඔස්සේ සිදු කිරීමට සැලසුම් කළ ඝාතන තැතක් වැළැක්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සමත්ව තිබේ.
එම අපරාධය සඳහා සූදානම් කළ ටී 56 වර්ගයේ ගිනි අවියක් ද සමඟ සැකකරුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ. එම සැකකරු හුංගම, මාමඩල පදිංචි 38 හැවිරිදි වියේ පසුවන්නෙකි. හමුදාවේ සිටි සෙබළෙක් බව කියන ඔහු අලෙවි නියෝජිතයෙක් ලෙස කටයුතු කරමින් සිට ඇත.
මීට අමතරව ටී 56 අවිවලට යොදන පතරොම් ගැබ් 02ක්, පතරොම් 63ක්, බෝර 12 වර්ගයේ පතරොම් යොදන අවි 02ක්, එම අවියට යොදන පතරොම් 25ක්, රිවෝල්වර් වර්ගයේ අවිවලට යොදන පතරොම් 34ක් ඔහු සතුව තිබී සොයාගෙන ඇත.
මේ සැකකරුට ලොකු පැටී විසින් ටිපර් රථයක් සහ කැබ් රථයක් ද, රුපියල් ලක්ෂ 10ක් ද ලබාදී ඇතැයි පොලීසිය සඳහන් කරයි. එම රථ දෙෙක් රහස් කුටි සකස් කර තිබී ඇත. එම කුටි සකස් කර ඇත්තේ ලොකු පැටීගේ උපදෙස් මත බව සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි කර ඇති බව සඳහන්ය. මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට එසේ රහස් කුටි සකස් කර ඇතැයි සැක කරන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
අතුරුගිරියේ පිහිටි රූපලාවණ්‍යාගාරයකදී කැරොකේ වසන්ත ඝාතනය විදේශයක සිට මෙහෙයවීමට ද ලොකු පැටී සම්බන්ධව සිටියේය.
බෙලරුස් රාජ්‍යයේ රැඳී සිටි ඔහු පසුගිය අප්‍රේල් මාසයේදී එරට පොලීසියෙන් අත්අඩංගුවට ගෙන මැයි මාසයේදී පිටුවහල් කර මෙරටට එවනු ලැබීය. බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය භාරයේ රඳවා සිටි සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය. ( ගයාන් කුමාර වීරසිංහ – දිනමිණ )







