මනම්පිටිය නිමල් ජයරත්න –
පොලොන්නරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ ගොවිපල තුල විදුලිසර වැදී වන මිය ගිය වන අලියෙක් හමුවි තිබේ. මෙලෙස විදුලි සැර වැදීමෙන් මියගොස් ඇත්තේ අවුරුදු තිස්පහක් පමණ වයසැති වන අලියෙකි.
ඊයේ ( 04) මේ වන අලියා හමුවන්නේ පුද්ගලයෙකුගෙන් පොලිසියට ලද තොරතුරක් මත සිදුකරන විමර්ශනයකදී ය.
ඒ පිළිබඳ පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂක පී.පී.කේ.පතිරණ ගේ මූලිකත්වයෙන් විමර්ශන ආරම්භ වී තිබුණු අතර සිද්ධිය පිළිබඳ පොලිසිය විසින් වනජීවී නිලධාරීන් ද දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබිණි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ ගොවිපළේ නිල නිවසේ සිටි සැකකරු පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොළොන්නරුව වනජීවී නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව අප කළ විමසීමක දී මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පැවසුවේය.
පොළොන්නරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නවනගරය මාර්ගයේ බීජ ගොවිපලට අයත් නිල නිවස වටා භූමියට යොදා ඇති අනාරක්ෂිත විදුලි වැටකින් විදුලිය වැදීම හේතුවෙන් මෙම වන අලියා මිය යන්නට ඇති බවට වනජීවි නිලධාරීන් සැක පළ කරයි.
පොළොන්නරුව වනජීවී නිලධාරීන් සහ පොලිසිය එක්ව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.







