පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අද සවස හදිසියේම පාර්ලිමේන්තු පරිශ්රයට පැමිණීමත් සමඟ පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන් ඇතුළු සියලු දෙනාම දැඩි විමතියට පත්වූ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
බැසිල් රාජපක්ෂ මහතා මන්ත්රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණෙන බවට පසුගිය දිනවල පැවති කතාබහ හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ අතර ඔහු මෙලෙස පාර්ලිමේන්තුවට පැමිණියේ මන්ත්රීවරයකු ලෙස දිවුරුම් දීමට ද යන්න පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සහ කාර්ය මණ්ඩලය අතර කුතුහලයක් වූ බව වාර්තා වේ .
රාජපක්ෂ මහතා පැමිණීමත් සමඟ පක්ෂ විපක්ෂ මන්ත්රීවරු වික්ෂිප්තභාවයට පත් වූ අතර ඔවුන් තැනින් තැන බැසිල් රාජපක්ෂ මහතාගේ පැමිණීම පිළිබඳව කතා කළ බව ද වාර්තා වෙයි.
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ද ඔහුගේ අනපේක්ෂිත පැමිණීම හේතුවෙන් එකිනෙකාගෙන් කරුණු විමසන්නට වූ අතර බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ අග්රාමාත්ය කාර්යාලයට පිවිසියේය.
පසුව ඔවුන්ට දැනගන්නට ලැබුණේ බැසිල් රාජපක්ෂ මහතා පැමිණ සිටියේ අද හවස පාර්ලිමේන්තු අග්රාමාත්ය කාර්යාලයේ පැවති පක්ෂ නායක රැස්වීම සඳහා සහභාගිවීමට බවය.
ටික වේලාවකට පසු මේ බව පාර්ලිමේන්තුවේ සියලු දෙනාටම අවබෝධ කරගත හැකිවූ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.







