උපේක්ෂා උඩුවැරැල්ල –
නව රජය පත් වුන අලුතය. දොස්තර ෂාෆි සහාබ්දීන්ගේ දුරකථනයට හදිසියේම ඇමතුමක් ආවේය. දොස්තර ෂාෆි… පැලෝපීය නාල මිරිකා සිංහල බෞද්ධ කුල කතුන් වඳ කළා යැයි චෝදනා කර ගල් ගසා මරන්නට ගිය මිනිසා ඔහුය.
සාෆි ෆෝන් එක ඔන් කෙළේය.
” ඩොක්ටර්… මට ඩොක්ටර්ව මුණ ගැහෙන්න තියනවා ලොකු වැඩකට. මම කතා කළේ ඩොක්ටර්ගෙන් පොඩි වෙලාවක් ඉල්ලා ගන්න…” ෂාෆි මදක් කල්පනා කළේය.
” මට කරුණාකරලා ඔබතුමා කවුද කියලා කියන්න පුලුවන් ද?”
” මම මධ්‍යම පළාතට අලුතින් පත් වෙච්චි ආණ්ඩුකාරවරයා. නම සරත් අබේකෝන්… මම කතා කළේ ඔබතුමාගෙන් මට පොඩි වෙලාවක් ඉල්ලගන්න. මට ඔබතුමාව මුණගැහෙන්න පුලුවන් ද අහන්න.”
වෛද්‍ය ෂාෆි එක්වරම තිගැස්සුනේය. නැවත වරක් දුකරථන අංකය දෙස බැලුවේය.
” අනේ සර්… සර් එන්න එපා. මම සර්ව හම්බවෙන්න ඔෆීස් එකට එන්නම්…” අනෙක් පැත්තෙන් ලැබුනේ මෙවැනි පිළිතුරකි.
” නෑ ඩොක්ටර්… මමයි එන්න ඕන ඩොක්ටර්ව හම්බවෙන්න. මට එදා ඉඳන් ඔබතුමා හම්බවෙන්න උවමනාවක් තිබුණා. ඒකයි එපොයින්මන්ට් එකක් ඉල්ලුවේ. අපි දැන් සමහර දේවල් කරපින්නගෙන ආපු කාලේ ඇති. මේ අනවශ්‍ය දේවල් අයින් කරලා අපිට එකතු වෙලා යන්න ගමනක් තියනවා ඩොක්ටර්. මට ඒ ගැන කතා කරගන්න අවශ්‍යයයි. ” මධ්‍යම පළාත් ආණ්ඩුකාර ආචාර්ය සරත් අබේකෝන් පැවසුවේය.
අනතුරුව වෛද්‍ය ෂාෆි සහාබ්දීන්ගෙන් වෙලාවක් වෙන් කරගෙන මධ්‍යම පළාත් ආණ්ඩුකාර ආචාර්ය සරත් අබේකෝන් ෂාෆිගේ නිවසට ගියේය. අනතුරුව ගොඩනැගී තිබුණේ දීර්ඝ සංවාදයකි. ඒ සංවාදයේ සංක්ෂිප්තය වෛද්‍ය ෂාෆි සහාබ්දීන් ලංකාසරට පැවසුවේය.
” ඒ දවස ජීවිතයේ වැදගත් දවසක්. ආණ්ඩුකාර තුමා නෝනත් එක්ක මාව හම්බවෙන්න ආවා. අපි ගොඩාක් දේවල් කතා කළා. ආණ්ඩුකාරතුමා මගෙන් ඉල්ලුවේ එක දෙයයි. අතීතය ගැන හිත හිත ඉන්න එපා. අතීතයෙන් ගන්න ඕන දේවල් තියනවා. ගන්න ඕන නැති දේවල් තියනවා. අනවශ්‍ය දේවල් අත්හැරලා දාලා හැමෝම ඉස්සරහට යමු. රටක සහජීවනය ඇති කරන්න නම් අපි හැමෝම අතීතයේ කටුක අත්දැකීම් අමතක කරලා එකට එකතු වෙන්න ඕන. මම ඒ ඉල්ලීම ඩොක්ටර්ගෙන් කරන්න තමයි මේ ඩොක්ටර් හොයාගෙන ආවේ… ආණ්ඩුකාරතුමා කිව්වා. ”
ඇත්තටම ඒ වෙනකොටත් මම සියල්ල අමතක කරලා දාලා හිටියේ. ඒකට අවශ්‍ය අත්දැකීම මට මේ මහා සමාජයෙන්ම ලැබුණා. මේ සමාජයේ ඉන්න මිනිස්සුන්ගනේ සියයට අනූ නවයක් ඉන්නේ ඉතාම යහපත් මිනිස්සු බව මම තේරුම් ගත්තේ අත්දැකීමෙන්. ඉතින් සියයට එකක් කරන අයහපත් වැඩකට මම මොකට ද මේ රටේ බහුතරයක් වටිනා මිනිස්සු එක්ක තරහා වෙන්නේ කියන දැනුම මට ජීවිත අත් දැකීමෙන් ලැබුණු දෙයක්.
“මම ආණ්ඩුකාර තුමාට පැහැදිලිවම කිව්වා මට කවුරුහරි අතීතයේ කළ කිසිම දෙයක් සම්බන්ධව මට තරහක් නෑ කියලා. ඇත්තටම මට ඕන කළේ මම නිර්දෝෂී කියලා ඔප්පු කරන්න විතරයි. ඒක ඔප්පු වුනා. මට ඒ ඇති. ඒ ඇහරුණාම පශ්චාත් මරණ පරීක්ෂණ තිය තිය කවුද මේව කළේ ඇයි මේවා කළේ මොකද එහෙම වුනේ කියලා බලන්න මට කිසිම උවමනාවක් නෑ කියන එක මම ආණ්ඩුකාරතුමාට කිව්වා.”
“ඒ වගේම මගෙන් මොනවා හරි උදව්වක් කෙනෙකුට ඕන ද?. ඒ ඕනෑම කෙනෙක්ට මම උදවු කරන්න ඉදිරිපත් වෙනවා. කිසිම කොන්දේසියක් නෑ. මුලින් කිව්වා වගේ අපේ රටේ ඉන්න මිනිස්සුන්ගෙන් අතිශය බහුතරයක් හොඳ මිනිස්සු. නරක වැඩ කරන ඉතාම සුළුතරයක් ඉන්නෙ. ඔවුන්ව නිවැරදි කරගෙන ඉදිරියට යන්නයි අවශ්‍ය. නැතිනම් අයහපත් සුළුතරය නිසා අපි වැටෙන්න නෙමෙයි… මම ආණ්ඩුකාරතුමාට මගේ අදහස කිව්වා. එතුමාගේ නිහතමානීකම, තව කෙනෙක් වෙනුවෙන් උනුවෙන හදවත මට දැනුනා. අපි හැමෝටම ජීවිතයේ අන්තිමට ඉතිර වෙන්නේ එච්චරයි. ”
ලොකු දුව…
ඒ සංවාදය අවසන් වී තිබුණේ මනුෂ්‍යත්වයේ මියුරුම සංවේදනයන් මත බව වෛද්‍ය සාෆි ලංකාසරට කීවේය. ඒ වින්දිත මිනිසාගේ මනුෂ්‍යත්වයේ මහා ගැඹුරු අර්ථය ඔහුගේ වැඩිමල් දියණියගෙන් ඔහුටත් වඩා තියුණු ලෙස ප්‍රකාශ වෙමින් ඇති අයුරු ඇසුවෙමු. තමන් සහාසික චෝදනාවක් මත බන්ධනාගාරගත කර සිය දරුවන්ට අධ්‍යාපනය අහිමිකළා පමණක් නොව දරුවන්ට නිවෙසේ ඉන්නට නොහැකි තරම් බිහිසුණු සමාජ වාතාවරණයක් ඒ නින්දිත බලවේග ඇති රක තිබිණි. ඒ මහා මානුෂික ව්‍යසනය මැද සිය දරුවන් වෛරී ව්‍යසනයක ගොදුරු බවට පත් නොකළ බව ෂාෆි අපට තහවුරු කළේය. සිය දියණිය ඒ සාමාර්ථ 03ක් සහිතව උසස් පෙළ දිනූ දැරියකට වඩා උත්තම ගුණ පූර්ණ මනුෂ්‍යයෙක් බව ඒ තාත්තා අපට කීවේ මහා ආඩම්බරයකිනි.
“අතීතයේ වෙච්චි කිසිම දෙයක් ගැන දැන් කතා කරන්න එපා. ඒවා අතීත සිදුවීම් විතරයි. අපි දැන් ඉන්නේ මේ මොහොතේ. මම මගේ දුවගේ ප්‍රතිඵල ආපු වෙලාවේ සතුටු වුනා. අද වෙනකොට දුව හින්දා ඊටත් වඩා සතුටු වෙන්න දෙයක් මට ඉතිරි වෙලා තියනවා. ඒ ගොල්ල විභාගයට පෙනී හිටිය විදිහ වැදගත් නෑ. හොඳ ප්‍රතිඵලයක් ගත්තා. ඒ ප්‍රතිඵල මත විදේශීය රටකින් පූර්ණ ශිෂ්‍යත්වයක් සඳහා දුවට ආරාධනා කළා. ඒත් ඔබ විශ්වාස කරන්න. ඒක දුව භාරගත්තේ නෑ. එයා ඒක ප්‍රතික්ෂේප කළා.”
“එතනදි එයා මට කිව්වේ එකම දෙයයි. මම ලංකාවෙ මිනිස්සුන්ට වැඩ කරන්න ඕන. ලංකාවේ දුක් විඳින මිනිස්සු ඉන්නවා නම් ඒ අයට අත්වැලක් වෙන්න ඕන. ඒ නිසා මම ලංකාවට වැඩ කරනවා. ලංකාවෙදිම ඉගෙන ගන්නවා. එයා මට කිව්වෙ එච්චරයි. තාත්තා කෙනෙක් විදිහට දුවකගෙන් ඒ වගේ වචන ටිකක් අහන්න තරම් මම මොනතරම් වාසනාවන්ත ද කියන එක ඒ වෙලාවෙ මට හිතුනෙ.. මම ඒ වගේ දරුවෙක් හැදුවා. මගේ දරුවා මනුෂ්‍යත්වයේ ආකල්පවලින් පිරිලා නම් මම සාර්ථක තාත්තා කෙනෙක්. ඊට වඩා මොනද තාත්තා කෙනෙකුට ඕන”
“වැදගත්ම වෙන්නේ මේ ජිවත්වෙන කෙටි කාලයේ දි තවත් කෙනෙකුට උදවු කරලා ඒ උදවුවෙන් නැගිටින මනුස්සයෙක් දිහා බලලා ඒ මනුස්සයා එක්කම සතුටු වීම. අපේ රටේ බහුතරයක් ඉන්නේ ඒ වගේ මනුස්සකම පිරුණු මිනිස්සු. මම ඔබ හැමෝගෙන්ම ඉල්ලන්නේ කවදාවත්ම වෙච්ච දේවල් ගැන හිත හිත ඒවා මතක් කර කර ඒ හැඟීම් මත අනාගතය සහ වර්ථමානය තීරණය කරන්න එපා. හැම දවසක්ම අලුත් දවසක්. අලුතින් පටන් ගන්න පුලුවන් දවසක්. මම ඒ ගමන පටන් ගත්තා. ඔබත් ඒ ගමනට එකතු වෙන්න.”
ඒ සංවාදය අවසන්වන විට මගේ නෙත් බොඳවී ගොස් තිබිනි. සාෆිට වූ ව්‍යසනය මේ රටම දන්නේ ය. එහෙත් ඔහුගේ දරුවන්ට වූ විපත්තිය තවමත් බොහෝ දෙනෙක් දන්නේ නැත. ඒ කතාව ෂාෆි අපට කියන්නේත් නැත. ඒත් අද A සාමාර්ථ තුනක් සහිතව මධ්‍යම පළාතේ 12 වැනි ස්ථානය ලබාගෙන උසස්පෙළ විද්‍යා අංශයෙන් ජයග්‍රහණය කළ සෙයිනාබ් ෂාෆි නැමැති මේ දැරියගේ මේ ආකල්ප ගොඩ නැගූ අම්මා සහ තාත්තාගේ උත්තම මනුස්සකම ගැන කියා දෙන්නට මේ කතාවේ සාරාංශය ඔබ දැනගෙන සිටිය යුතු බව විශ්වාස කරන නිසා එය ලියා මේ සටහන නිමා කරමි.
ලොකු දුව ගැන ෂාෆි නොකී කතාව
මැයි 24 වැනිදා වෛද්‍ය ෂාෆි සෙහාබ්දීන් අත් අඩංගුවට ගත්තේය. ඒ සිංහල අම්මලාගේ ගේ පැලෝපීය නාල මිරිකා ඔවුන් වඳ කළ බවට එල්ල වූ සාහසික චෝදනාව මතය. ඒ වනවිට සෙයිනාබ් ෂාෆි ඉගෙන ගත්තේ 09 වසරේය. ඇයගේ නැගණිය 5 වසරේය. දෙදෙනාම කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ ය. තාත්තා අත් අඩංගුවට පත්වීමත් සමග සෙයිනාබ් ෂාෆි දියණියට මේ සිංහල බෞද්ධ පාසල් සමාජය බරපතල චෝදනාවක් එල්ල කළේය. ඒ ඇය සිය සිංහල බෞද්ධ යෙහෙළියන්ට වඳ පෑඩ් බෙදන බවය. ඒවා ඇඳගන්නා දැරියන් වඳ වෙන බවය. මේ සිද්ධියට පාදක වන්නේ සිය පන්ති යෙහෙළියකට ඇතිවූ අවශ්‍යාතාවයක් මත ඇය සනීපාරක්ෂක තුවායක් ලබාදීමේ සිද්ධියක් මුල් කරගනිමිනි. මේ චෝදනාව එන විට මේ කියන්නේ කුමක්දැයි කියාවත් මේ දැරිය දන්නේ නැත. ඒ සමගම සෙයිනාබ්ගේ අම්මාටත් පාසල් සමාජය චෝදනා කළේය. ඒ ඇය විසින් වඳ වටලප්පන් හදා දැරියන් වඳ කරන බවයට. මේ කාලකණ්ණි සෙයිනාබ් ෂාෆිටත් ඇයගේ සිඟිති නැණගනිටයත් කුරුණෑගල මලියදේව බාලිකාවේ ඉගෙන ගන්නට අවස්ථාව ලබා දුන්නේ නැත.
කරන්නේ කුමක් දැයි නොදැන අසරණ වූ මවක් සමග දැරියන් දෙදෙනාට තිබුණු එකම විකල්පය වූයේ කුරුණෑගල අත්හැර යෑමය. ඔවුහු සරණාගතයන් බවට පත්වූහ. උන් තැන හැරපියා දැරියන් දෙදෙනා සහ මව කොළඹ ගියහ.
එහෙත් කොළඹ තත්ත්වය ඊටත් වඩා බරපතල වී තිබිණි. රතන සාදුලා අවුලවපු ඇවිලිල්ල මහා ගින්නක් වූයේය. කරගත හැකි දෙයක් නොමැති තැන දැරියන් දෙදෙනා සමග මව නැගෙනහිර පළාතට සංක්‍රමණය වූවාය.
බරපතලම ගැටලුව ආවේ එතැනදීය. සෙයිනාබ් සහ නැගණිය ඉගෙන ගත්තේ සිංහල මාධ්‍යයෙනි. එහෙත් නැගෙනහිරට සංක්‍රමණය වූ මේ දැරියන්ට අධ්‍යාපනය ලබන්නට සිදුවන්නේ දෙමළ මාධ්‍යයෙනි. අවුරුදු එක හමාරක් අධ්‍යාපනය සමග පොරබදන මේ අසරණ දැරියන්ට යළිත් සිංහල භාෂාවෙන් අධ්‍යාපනයට අවස්ථාව සැලසෙන්නේ දයාබර මනුෂ්‍යයින්ගේ රැකවරණය සහිතව මධ්‍යම පළාතට පැමිණීමෙන් පසුය. මේ සියලුම තත්ත්වයන් හමුවේ සෙයිනාබ් සාමාන්‍ය පෙළ විභාගයට ඒ සාමාර්ථ 09ක් ලැබුවාය.
තාත්තා නිරපරාදේ බන්ධනාගාරයේ දුක් විඳ නිදොස් වී ගෙදර එද්දී දැවැන්ත සමාජ පීඩාවක් දරාගෙන මේ දියණිය සිය ගමන යමින් සිටියාය. අවසානයේ දී ඇය ඒ සාමාර්ථ 3ක් සමගින් ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත් වන්නේ මධ්‍යම පළාතේ 12 වැනියා වෙමිනි. වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා විදේශයකින් පූර්ණ ශිෂ්‍යත්වයක් ලැබෙන්නේ ඒ දියණියටය. ඒ ශිෂ්‍යත්වය ප්‍රතික්ෂේප කර ලංකාවේ ඉගෙන ගෙන ලංකාවේ අසරණ මිනිස්සුන්ට සේවය කරන්නට අධිෂ්ඨාන කරගෙන ඇත්තේ ඒ දියණිය ය.
රත්තරන් ලොකු පුතේ… උඹ බණ කතාවක් බව ලියා තබමි. උඹට තුනුරුවන් සරණයි.







