ලලිත් චාමින්ද –
රැකියාවේ යෙදි සිටියදී අගතියට පත් පාර්ශව සඳහා වන්දි හිමිවිය යුතු බවට අධිකරණය මගින් තීන්දුකොට තිබුනද වන්දි නඩු 54ක් සඳහා සේවායෝජකයින් විසින් රුපියල් එක්කෝටි, විසිතුන්ලක්ෂ,හතලිස් හතර දහස්,එකසිය දාහතක මුදලක් (12,344,117) අදාළ සේවකයින් වෙත ගෙවා නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.
කම්කරු වන්දි උසාවි නියෝග මත වන්දි මුදල් ගෙවන ලෙස උසාවියෙන් නියෝග කොට තිබුණි. මෙම වන්දි නඩු අතර වරෙන්තු නිකුත්කර වසර 10ක් ඉක්මවු නඩු 11ක්ද, වසර 05-10 අතර නඩු 22ක් හා වසර 01ත් 04ත් අතර නඩු 11ක් ද පැවති බව විගණනය මගින් අනාවරණය කොට ඇත.
ආපදාවන්ට ලක්වු කම්කරුවන් වෙත වන්දිගෙවිමේ ක්‍රියාවලිය විධිමත් හා කර්යක්ෂම විය යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
මේ පිළිබද කම්කරු අමාත්‍යංශයේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත්තේ කම්කරු වන්දි උසාවි නියෝග මත වන්දි මුදල් නොගෙවන අවස්ථාවන්හිදි වග උත්තරකරුගේ දේපල තහනම් කිරීම සඳහා කම්කරු වන්දි ආඥාපනත අනුව වරෙන්තු නිකුත්කරණු ලබන බවය.
එම වරෙන්තු ක්‍රියාත්මක කිරීමේ බලතල ඇත්තේ වගඋත්තරකරු පදිංචි ප්‍රදේශයට අදාළ මහේස්ත්‍රාත් අධිකරණයට බවද ප්‍රධාන ගණන්දීමේ නිලධාරිවරයා විගණනයට සඳහන් කොට ඇත.
ඒ අනුව වගඋත්තරකරුගේ දේපල පෙන්වා දීම, තහනම්කළ දේපල වෙන්දේසිකර වන්දි මුදල් අයකරගැනීම ආදි කටයුතු සදහා ඉල්ලුම්කර පාර්ශවය ඉදිරිපත් වි මහේස්ත්‍රාත් උසාවියේ එම පිස්කල් නිලධාරින්ට සහයෝගය ලබාදිය යුතු බවද ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සඳහන් කොට ඇත.
එම කටයුතු සදහා ඉල්ලුම්කරුවන් ඉදිරිපත් නොවීම මත වරෙන්තු නඩු 54කට අදාළ වන්දි මුදල් මෙතෙක් අයකරගැනිමට නොහැකිවී ඇති බවද ප්‍රධාන ගණන්දීමේ නිලධාරිවරයා විගණනයට සඳහන් කර තිබේ.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය සම්බන්දයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවෙ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.







