රට පුරා දින ගණනාවක් සිට ඉන්ධන පෝලිම්වල ගත කරන පිරිසගේ බලාපොරොත්තු අද දිනයේත් බොහෝ විට ඉටු නොවනු ඇති බවත් දෛනිකව බෙදා හැරීම් කටයුතුවල යෙදෙන ඉන්ධන ටැංකිරථ ප්‍රමාණයෙන් සියයට 10කට අඩු ටැංකි රථ ප්‍රමාණයක් පමණක් අද කොලොන්නාව අංගනයට ගෙන්වා ඇති බවත් ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසයි.
අද දිනයේත් දිවයින පුරාම අවශ්‍ය ස්ථාන වෙත ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදුවන බවට ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම කළ ප්‍රකාශය සම්බන්ධව මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දුන් ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පැවසුවේ බෙදා හැරීම සිදුවන නමුත් කොලොන්නාව අංගනයට වාර්තා කර ඇත්තේ ටැංකි රථ 30 පමණක් බවය.
පුද්ගලික ටැංකිරථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා ඒ පිලිබඳව කළ විමසීමක දී මෙසේ පැවසුවේය.
“ සාමාන්‍යයෙන් වෙසක් සහ පොසොන් පොහොය දිනවල ඉන්ධන ටැංකි රථ ධාවනය කරන්නෙ නෑ. නමුත් අද දිනයේ ටැංකි රථ ධාවනය කරන්න දැනුම් දීලා තිබුණා. ඒ නිසා මේ වනවිට ඉන්ධන ප්‍රවාහන කටයතු සඳහා කොලොන්නාව අංගනයට ටැංකි රථ 30ක් පමණ වාර්තා කරලා තියනවා.“
“කෙසේ වෙතත් සෑම ඉන්ධන හලක් අසලම පෝලිමේ සිටීමේ තේරුමක් නැති තත්ත්වයක් තමයි පෙනෙන්නෙ. සාමාන්‍ය දිනයකට ටැංකි රථ 350ක් – 400ක් ධාවනය වෙනවා. මේ වනවිට ටැංකි රථ 30ක් පමණ පැමිණීම තුළ අපට පෙනෙන්නෙ වැඩි හරියක්ම ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන ප්‍රවාහනය සිදුවෙන්නෙ නෑ කියන එක. එයයි පෙනෙන්න තියන ඇත්ත. “ ඔහු කීවේය.
මේ පිළිබඳව රජය පවසන්නේ ඉදිරි දින දෙක ඇතුළත ඩීසල් නැවක් පැමිණෙන බවත් පෙට්‍රල් රැගත් නෞකාවක් සඳහා ඇනවුම් කිරීමට මේ වනවිට පියවර ගනිමින් සිටින බවත්ය.